ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ පුහුණුකරු, විනිසුරු, තණතීරු නඩත්තුව මෙන්ම ක්‍රීඩක සංවර්ධනය උදෙසා වූ ප්‍රධාන සංවර්ධන යෝජනා කිහිපයක් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව (SLC Transformation Committee) මඟින් නිවේදනය කර තිබේ.
අද පැවැති මාධ්‍ය හමුවකදී ක්‍රිකට් කමිටු සභාපති සිදත් වෙත්තිමුණි මහතා සඳහන් කළේ පාසල් ක්‍රිකට් නිමවන ක්‍රීඩකයන් ජාතික මට්ටමට යොමුකිරීමේදී සිදුවන ගිලිහියාම වැළැක්වීමට වයස අවුරුදු 23න් පහළ තරගාවලිය වෙනුවට වයස අවුරුදු 21න් පහළ තරගාවලියක් හඳුන්වාදීමට යෝජනා කර ඇති බවයි.
මීට අමතරව විනිසුරු හා තණතීරු ප්‍රමිතිය ඉහළ නැංවීම, ප්‍රකට පුහුණුකරු ඇෂ්ලි රොස් (Ashley Ross) හරහා වසර දෙකක පුහුණුකරු අධ්‍යාපන වැඩසටහනක් ඇරඹීම, ඕස්ට්‍රේලියානු භෞතික චිකිත්සක ඇලෙක්ස් කුන්තූරිස්ගේ (Alex Kountouris) සහාය ඇතිව ක්‍රීඩක ශාරීරික යෝග්‍යතා අංශ වැඩිදියුණු කිරීම, කාන්තා ක්‍රිකට් ප්‍රවර්ධනය සහ වේගපන්දු යවන්නන්ගේ කාර්යභාරය නිරීක්ෂණයට නව පද්ධතියක් හඳුන්වාදීම ද මෙම යෝජනාවලට ඇතුළත් වේ.














