ශ්‍රී ලංකාව තුළ විදුලි බලයෙන් ක්‍රියාත්මක වන, සිරස් අතට ගුවන්ගත වී ගොඩබැසිය හැකි මගී ඩ්‍රෝන යානා (Electric Vertical Take-off and Landing – eVTOL) මෙහෙයුම් හඳුන්වාදීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය (CAASL) විසින් ‘EHang Intelligent’ සමාගමේ නියෝජිතයන් සහ ප්‍රධාන පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයෙන් උසස් මට්ටමේ තාක්ෂණික සාකච්ඡාවක් පවත්වා තිබේ.
වරාය හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු ජනිත රුවන් කොඩිතුවක්කු මහතා සමඟ පැවති හමුවෙන් අනතුරුව පැවැත්වුණු මෙම දෙවැනි සාකච්ඡාව, ශ්‍රී ලංකාවේ නවීන ගුවන් ප්‍රවාහන තාක්ෂණයන් ආරක්ෂිතව හා ක්‍රමවත් ලෙස ගවේෂණය කිරීමේ රජයේ ප්‍රයත්නයේ තවත් වැදගත් පියවරක් ලෙස සැලකේ. මෙහිදී EHang Intelligent සමාගම සිය නවීන තාක්ෂණික හැකියාවන් ඉදිරිපත් කළ අතර, චීන සිවිල් ගුවන්සේවා පරිපාලනය (CAAC) විසින් ‘Type Certificate’ සහතිකය නිකුත් කළ ලොව ප්‍රථම eVTOL නිෂ්පාදකයා ලෙස තම ජයග්‍රහණය ද මෙහිදී පැහැදිලි කළේය.
එමෙන්ම, ශ්‍රී ලංකාවේ eVTOL ‘Regulatory Sandbox’ පරිසරයක් ස්ථාපිත කිරීමේ යෝජනාවක් ද ඉදිරිපත් කරමින්, පර්යේෂණ, සංවර්ධන, ප්‍රදර්ශන සහ පරීක්ෂණ මෙහෙයුම් සඳහා පහසුකම් සලසා දී අනාගතයේ වාණිජ eVTOL සේවා හඳුන්වාදීම සඳහා ක්‍රමානුකූල මාර්ගයක් සකස් කිරීමේ දැක්මද ඔවුන් විසින් ඉදිරිපත් කරන ලදී.














