ඉන්දියානු රජයේ ප්‍රදාන ආධාර යටතේ ක්‍රියාත්මක ආදර්ශ ගම්මාන නිවාස ව්‍යාපෘතිය යටතේ කළුතර දිස්ත්‍රික්කයේ, ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිමලගම ගම්මානයේ ඉදි කරන ලද “ජන අරුණගම” ආදර්ශ ගම්මානය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, නිවාස ඉදි කිරීම් හා ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.
2018 වර්ෂයේදී ආරම්භ කළ මෙම නිවාස ව්‍යාපෘතිය විවිධ ආර්ථික හා සමාජීය අභියෝග හේතුවෙන් වරින් වර ඇනහිට තිබූ අතර, වත්මන් රජය බලයට පත්වීමෙන් පසු එහි ප්‍රගතිය පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් කඩිනමින් වැඩ අවසන් කිරීමට පියවර ගෙන ඇත. නිවාස 24කින් සමන්විත මෙම ගම්මානයේ සෑම නිවසක්ම නිදන කාමර දෙකකින්, විසිත්ත කාමරයකින්, මුළුතැන්ගෙයකින් සහ සනීපාරක්ෂක පහසුකම් සහිත නානකාමරයකින් සමන්විත වන අතර, පානීය ජලය, විදුලිය සහ මාර්ග පද්ධතිය ඇතුළු යටිතල පහසුකම්වලින්ද යුක්ත වේ.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දශක ගණනාවක් පුරා පවතින ශක්තිමත් මිත්‍රත්වය සහ අන්యోන්ය සහයෝගීතාව සංකේතවත් කරන මෙම ව්‍යාපෘතිය, අඩු ආදායම්ලාභී පවුල්වලට ගෞරවනීය ජීවිතයක් සහ සුරක්ෂිත අනාගතයක් උදාකර දෙන මානුෂීය සංවර්ධන ව්‍යාපෘතියක් බව අමාත්‍යවරු මෙහිදී අවධාරණය කළහ.














