ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමයේ (SLPMA) වාර්ෂික මහා සභා රැස්වීම **“ජාතික කැඳවීම ඉදිරියට ගෙන යාම”** යන තේමාව යටතේ පැවැත්විණි. මෙරට ඖෂධ නිෂ්පාදනය අතින් ස්වයංපෝෂිත රටක් බවට පත් කිරීම සහ විශ්වාසනීය ඖෂධ නිෂ්පාදන කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ස්ථාපිත කිරීම මෙහි ප්‍රධාන අරමුණ වී තිබේ.
Morison Ltd හි කළමනාකාර අධ්‍යක්ෂ දිනේෂ් අතපත්තු මහතා SLPMA හි නව සභාපතිවරයා ලෙස තේරී පත් විය. ශ්‍රී ලංකාවේ ඖෂධ වෙළෙඳපොළේ වටිනාකම ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 600ක් වන අතර, ඉන් 40%ක් රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය හරහාත්, 60%ක් පෞද්ගලික අංශය හරහාත් සිදු වේ.
2015 වසරේ හඳුන්වා දුන් සහතික කළ ප්‍රතිමිලදීගැනීම් ගිවිසුම හරහා රජයේ මිලදීගැනීම් 5% සිට 30% දක්වා ඉහළ ගොස් ඇති අතර, පෞද්ගලික අංශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 200කට අධික ආයෝජන ආකර්ෂණය කර ගැනීමට හැකි වී ඇත. ඉදිරි වසර 5ත් 10ත් අතර කාලය තුළ ශ්‍රී ලංකාවේ ජාතික ඖෂධ ඉල්ලුමෙන් 75%ක් දේශීයව නිෂ්පාදනය කිරීම, විශ්වාසනීය ඖෂධ අපනයන කර්මාන්තයක් බිහි කිරීම සහ දක්ෂ මානව සම්පතක් නිර්මාණය කිරීම සංගමයේ අපේක්ෂාවයි.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ කර්මාන්තයේ නියුතු පිරිසක් එක්ව සිටියහ.














