මහජන නියෝජිතයන්ගෙන් තොරව පළාත් සභා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම දැඩි ලෙස විවේචනය කර ඇති හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා, එය ප්රජාතන්ත්රවාදී මූලධර්ම උල්ලංඝනය කිරීමක් බව පවසා තිබේ.
පාලනමය වශයෙන් සභා පවත්වාගෙන යා හැකි යැයි ඇතැමෙක් පැවසුවද, “මහජන නියෝජිත ආයතනයක් මහජන නියෝජිතයන්ගෙන් තොරව ක්‍රියාත්මක කිරීම අපරාධයක්” බව මාධ්‍ය අමතමින් ඔහු අවධාරණය කළේය. පළාත් සභා මෙලෙස පාලනය වීමට ඉඩ හැරියහොත් ඉදිරියේදී පාර්ලිමේන්තුවට සහ පළාත් පාලන ආයතනවලටද එම තත්වයම අත්විය හැකි බවත්, නිලධාරීන්ට මහජන නියෝජිතයන්ගේ ස්ථානය ගත නොහැකි බවත් ඔහු පෙන්වා දුන්නේය. දිගුකාලීනව කල්ගොස් ඇති පළාත් සභා මැතිවරණය පැවැත්වෙන දිනය සහ ආකෘතිය ඒ වන විට රජය විසින් ප්‍රකාශයට පත් කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත්, සැප්තැම්බර් 15 වන ලෝක ප්රජාතන්ත්රවාදී දිනයේදී වැඩිදුර තොරතුරු හෙළි කරන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.














