“තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” නිවාස ආධාර වැඩසටහන යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ තෝරාගත් අඩු ආදායම්ලාභී පවුල් 150ක් සඳහා නිවාස ආධාර හිමිකම් චෙක්පත් ප්‍රදානය කිරීම වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඌව පළාත් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
බදුල්ල දිස්ත්‍රික්කය සඳහා මෙම ව්‍යාපෘතිය යටතේ නිවාස 257ක් වෙන් කර ඇති අතර, එහි පළමු අදියර ලෙස පවුල් 150ක් සඳහා මෙලෙස චෙක්පත් ප්‍රදානය කෙරිණි. එක් නිවසක් වර්ග අඩි 550කින් සමන්විත වන අතර, සාලයක්, නිදන කාමර දෙකක්, මුළුතැන්ගෙයක් සහ නාන කාමරයකින් යුක්තය. රජය විසින් එක් නිවසක් සඳහා රුපියල් ලක්ෂ 10ක මූල්‍යාධාරයක් ලබාදෙන අතර, ඉතිරි ලක්ෂ 10ක වටිනාකම ද්‍රව්‍ය හා ශ්‍රම දායකත්වය ලෙස ප්‍රතිලාභීන් විසින් සපයනු ලැබේ.
ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සහ ස්ථාවර නිවාස හිමිකමක් ලබාදීම අරමුණු කරගත් මෙම වැඩසටහන යටතේ, 2026 වසර සඳහා දිවයින පුරා නිවාස 9,418ක් ඉදිකිරීමට සැලසුම් කර ඇත.













