අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් විවේචන එල්ල නොකර නිහඬව සිටින ලෙස කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා තමන්ගෙන් ඉල්ලා සිටි බව ජාතික ජන බලවේගයේ නායකත්ව සභාවේ සහ විධායක සභාවේ සාමාජික, ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතා අනාවරණය කරයි. Daily Mirror පුවත්පත සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කර ඇත.
දශක පහකට වැඩි කාලයක් තිස්සේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටි අයෙකු ලෙස තමන්ට මෙම කරුණ සම්බන්ධයෙන් නිහඬව සිටිය නොහැකි බව ලාල් විජේනායක මහතා පවසයි. අමාත්‍ය ලාල් කාන්ත මහතා තමන්ට දුරකථනයෙන් අමතා මෙම ඉල්ලීම කළ බවත්, පසුව තමන් ඒ පිළිබඳව සිය ස්ථාවරය පැහැදිලි කරමින් අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කළ බවත් ඔහු සඳහන් කළේය. එම ලිපියේ පිටපත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සහ ජාතික ජන බලවේගයේ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතාටද යොමු කර තිබේ.
තමන් මෙම තීරණයට විරුද්ධ වන්නේ ප්‍රතිපත්තිමය කරුණු මත මිස පෞද්ගලික අමනාපයක් නිසා නොවන බව අවධාරණය කරන ඔහු, නීතියේ ආධිපත්‍යය සුරැකීමට නම් අධිකරණයේ ස්වාධීනත්වය අත්‍යවශ්‍ය බව පෙන්වා දෙයි. වසර 50ක් පමණ ලංකා සමසමාජ පක්ෂය සමඟ කටයුතු කර ඇති තමන් පුළුල් සාකච්ඡා පවත්වන ක්‍රමවේදයකට හුරු වී සිටින බවත්, ජාතික ජන බලවේගය තුළ එවැනි විනිවිදභාවයකින් යුත් තීරණ ගැනීමේ ක්‍රියාවලියක් තමන් නොදකින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.














