වෘත්තියේ අනාගතය රැඳී තිබෙන්නේ ශක්තිමත් තාක්ෂණික දැනුමෙන් පමණක් නොව, අවංකභාවය, හැඩගැසීමේ හැකියාව, නවෝත්පාදනය සහ රාජ්‍ය සේවය කෙරෙහි ඇති කැපවීම මත බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
“සීමාවන්ගෙන් ඔබ්බට, ක්ෂිතිජයෙන් ඔබ්බට – ලෝකයේ අනාගතය සිතියම්ගත කිරීම” යන තේමාවෙන් අගෝස්තු 02 වැනි දින කොළඹදී පැවති ශ්‍රී ලංකා මිනින්දෝරු ආයතනයේ ශතසංවත්සර සැමරුම් උත්සවයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය. මෙහිදී ජීවිත කාලයටම පිදෙන සේවා සම්මානය, ජාතික දායකත්ව සහ ව්‍යවසායකත්ව සම්මානය සහ දැයෙන් සමුගත් විරුවන් උදෙසා පිදෙන උපහාර සම්මානය ප්‍රදානය කිරීමද සිදු කෙරිණි.
සභාව අමතමින් අග්‍රාමාත්‍යවරිය තවදුරටත් කියා සිටියේ, රටක සංවර්ධනයට පදනම වන ප්‍රධානතම වෘත්තීන් අතර මිනින්දෝරු වෘත්තිය පෙරමුණ ගන්නා බවයි. තිරසාර සංවර්ධනය, කාර්යක්ෂම ඉඩම් කළමනාකරණය, යටිතල පහසුකම් සහ සංවර්ධන ව්‍යාපෘති සාර්ථකව ක්‍රියාත්මක කිරීම ඇතුළු ජාතික වර්ධනයේ සෑම අංශයකටම මෙම වෘත්තිය සෘජුව බලපාන බව ඇය පෙන්වා දුන්නාය. එසේම, උතුරු මැද සහ උතුරු පළාත්වල වාරිමාර්ග සංවර්ධනය සඳහා වැව් 100කට අධික ප්‍රමාණයක මැනුම් කටයුතු සිදු කර ඇති බවත්, මොරගහකන්ද ජලාශයේ සිට හුරුළුවැව දක්වා ජලය ගෙන යන රජරට ඇළ ව්‍යාපෘතියේ උමං කැණීම්වල ප්‍රමිතිය තහවුරු කිරීමට මිනින්දෝරුවන් අඛණ්ඩ දායකත්වයක් ලබා දී ඇති බවත් ඇය සිහිපත් කළාය.
අද වන විට චන්ද්‍රිකා තාක්ෂණය, භූගෝලීය තොරතුරු පද්ධති (GIS), දුරස්ථ සංවේදනය (Remote Sensing), කෘතිම බුද්ධිය (AI), ඩ්‍රෝන තාක්ෂණය සහ ඩිජිටල් සිතියම්කරණය මගින් මෙම ක්ෂේත්‍රය මුළුමනින්ම පරිවර්තනය වී ඇති බව පැවසූ අග්‍රාමාත්‍යවරිය, රටේ ඩිජිටල් පාලනය ශක්තිමත් කිරීමට සහ දේශගුණික විපර්යාස හමුවේ ඔරොත්තු දෙන යටිතල පහසුකම් ගොඩනැගීමට මෙම දත්ත අත්‍යවශ්‍ය වන බව අවධාරණය කළාය.
මෙම අවස්ථාවට ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් විතාරණ, පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ඒ. රුවන්තිලක, අමාත්‍යාංශ ලේකම් ඩී. පී. වික්‍රමසිංහ ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් සහ ශ්‍රී ලංකා මිනින්දෝරු ආයතනයේ සාමාජික සාමාජිකාවන් විශාල පිරිසක් එක්ව සිටියහ.














