ගොවි ජනතාවට දුන් පොරොන්දු සම්බන්ධයෙන් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා, එදා ගොවි ජනතාව සමඟ එක්වී වී කිලෝවකට රු. 150ක ස්ථාවර මිලක් ලබා දෙන බවට පොරොන්දු වුවද, අද වන විට වී කිලෝවක් නිෂ්පාදනය කිරීමට රු. 137ක් වැය වන පසුබිමක ස්ථාවර මිල ලෙස රු. 120ක් පමණක් ලබා දී වී කිලෝවකින් ගොවියාට රු. 17ක පාඩුවක් සිදු කර ඇති බව සඳහන් කළේය. මේ සියලු ගැටලුවලට මූලික හේතුව පුරවැසි පරපුර නිසි දැනුවත්භාවයකින් තොර වීම බවත්, සමාජයක් ලෙස දැනුමින් සවිබල ගැන්වූ පිරිසක් බවට පත්විය යුතු බවත් ඔහු අවධාරණය කළේය.
අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා, මෙරට අධ්‍යාපනය තුළ ප්‍රධාන කොටස් 6ක් පවතින බවත්, එම සෑම අංශයකම අඩුපාඩු හා විෂමතා විශාල ලෙස පවතින බවත් ප්‍රකාශ කළේය. රටේ ගුරුවරුන් 250,000ක්, විදුහල්පතිවරුන් 15,000ක් සහ පාසල් 10,145ක් පමණ පවතින අතර, සමහර පාසල් වැසී යාමේ තත්ත්වයකට මුහුණ දී සිටින බව ඔහු පෙන්වා දුන්නේය. ගුරුවරුන්ට ලබාදීමට පොරොන්දු වූ ඉතිරි 2/3ක දීමනාව ලබා දිය යුතු බවත්, කිසිදු විටෙක බොරු පොරොන්දු ලබා දී ගුරුවරුන් අනාථ නොකරන බවත් හෙතෙම සඳහන් කළේය.
එමෙන්ම, නිදහස් අධ්‍යාපනය තුළ පවා බරපතල බෙදීම් හා ඛේදවාචකයන් නිර්මාණය වී ඇති බවත්, පළාත් පාසල් සහ ජාතික පාසල් අතර ප්‍රතිපාදන ලැබීමේදී විශාල පරතරයක් පවතින බවත් ඔහු පැවසීය. විවිධ රජයන් යටතේ විවිධ ව්‍යාපෘති හඳුන්වා දුන්නද, අවසානයේ අගතියට පත් වන්නේ ගුරුවරුන් සහ දරුවන් බව හෙතෙම පෙන්වා දුන්නේය. තොරතුරු තාක්ෂණය ලෝකයේ මුල් ළමා වියේ සිටම ඉංග්‍රීසි භාෂාවෙන් උගන්වද්දී, අප රටේ 6-13 ශ්‍රේණිවල පවා එය මව් භාෂාවෙන් ඉගැන්වීම හරහා නිසි ඩිජිටල් විප්ලවයක් කළ නොහැකි බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
පාසල් දරුවන්ගෙන් 40%කටවත් සුහුරු (Smart) උපකරණයකට ප්‍රවේශයක් නොමැති බවත්, සුහුරු පන්ති කාමර උපකරණ ලබා ගැනීමට දෙමාපියන්ගෙන් මුදල් එකතු කිරීමට සිදුව ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශයේ දුර්වලතා නිසා බවත් විපක්ෂ නායකවරයා පැවසීය. කවුරු අකමැති වුවද ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාව සහ ඩිජිටල් අධ්‍යාපනය තවදුරටත් වර්ධනය කළ යුතු බවත්, ගෝත්‍රික හා යල්පැනගිය සංකල්පවලින් බැහැර විය යුතු බවත් ඔහු අවධාරණය කළේය. පෞද්ගලික අධ්‍යාපනය කොතරම් පැවතුණද, රටක සෑම විටම මුල්තැන ලබා දිය යුත්තේ සුබසාධන රාජ්‍යයේ නිදහස් අධ්‍යාපනයට බවද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.














