ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින දිගුකාලීන හා ශක්තිමත් සබඳතා වඩාත් ඵලදායී ආර්ථික හවුල්කාරිත්වයක් බවට පරිවර්තනය කරමින් ආයෝජන, කර්මාන්ත සහ නවෝත්පාදන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව තවත් පුළුල් කළ යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කර තිබේ.
ලංකා ඉන්දියා ව්‍යාපාරික සංගමය (LIBA) විසින් සංවිධානය කරන ලද “India Calling” ශ්‍රී ලංකා – ඉන්දියා ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම අරමුණු කරගත් ව්‍යාපාරික සැසියේ සමාරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැති මෙම සැසියේ ප්‍රධාන අරමුණ වූයේ දෙරට අතර ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම, නව ආයෝජන අවස්ථා හඳුනා ගැනීම සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා කලාපීය වෙළෙඳපොළ අවස්ථා පුළුල් කිරීමයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ශ්‍රී ලංකාව වර්තමානය වන විට ආර්ථික අභියෝගයන්ගෙන් මිදීමේ ක්‍රියාවලියක පමණක් නොව, විනයගරුක, විනිවිදභාවයෙන් යුතු සහ ඵලදායී නව ආර්ථික පදනමක් ගොඩනගන තීරණාත්මක පරිවර්තනීය අවධියක සිටින බව ප්‍රකාශ කළේය. යැපීම් මත පදනම් වූ ආර්ථික ආකෘතියකින් ඉවත්ව, වටිනාකම් නිර්මාණය කරන, අපනයන කේන්ද්‍රීය සහ නවෝත්පාදනය මත පදනම් වූ තරගකාරී ආර්ථිකයක් ගොඩනැගීම රජයේ අරමුණ බවද හෙතෙම පෙන්වා දුන්නේය.
ඉන්දියාව ශ්‍රී ලංකාවට හුදෙක් අසල්වැසි රාජ්‍යයක් පමණක් නොව, ඉතිහාසය, භූගෝලීය සමීපතාව සහ අනාගත ආර්ථික අවස්ථා සමඟ බැඳුණු වැදගත් හවුල්කරුවෙකු බව පෙන්වා දුන් අමාත්‍යවරයා, වෙළෙඳ ගනුදෙනු ප්‍රමාණයන්ගෙන් ඔබ්බට ගොස් නිෂ්පාදන දාම ශක්තිමත් කිරීම, කාර්මික සහයෝගීතාව වර්ධනය කිරීම, තාක්ෂණ හුවමාරුව සහ නව ආයෝජන අවස්ථා නිර්මාණය කිරීම සඳහා අවධානය යොමු කළ යුතු බව අවධාරණය කළේය. ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම උපයෝගී කර ගනිමින් රට ප්‍රධාන පෙළේ නිෂ්පාදන සහ සැපයුම් කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ හැකියාව පවතින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.














