සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර යන මහත්වරු අද (අගෝස්තු 06) කොළඹ අගරදගුරු මැදුරේදී කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැදැක විශේෂ සාකච්ඡාවක නිරත වූහ.
අධිකරණ හා බන්ධනාගාර ක්ෂේත්‍රයේ වත්මන් තත්ත්වය, ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත ප්‍රතිසංස්කරණ සහ ඒ සම්බන්ධයෙන් සමාජයේ පැතිර යන සාවද්‍ය තොරතුරු පිළිබඳ සත්‍ය කරුණු මෙහිදී කාදිනල් හිමිපාණන් වෙත පැහැදිලි කළ බව අමාත්‍යවරු සඳහන් කළහ.
සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, දූෂණ විරෝධී පනත සංශෝධනය කළද මහජන නියෝජිතයන්ගේ වත්කම් හා බැරකම් පිළිබඳ තොරතුරු දැනගැනීමේ ජනතා අයිතිය කිසිදු ආකාරයකින් සීමා නොකරන බවයි. රජයේ නිලධාරීන් සහ ව්‍යවස්ථාපිත ආයතනවල නිලධාරීන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමේ අරමුණින් පමණක් අදාළ සංශෝධන සිදු කරන බවද හෙතෙම පෙන්වා දුන්නේය.
එමෙන්ම, ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා පුළුල් සමාජ හා දේශපාලන සංවාදයක් අවශ්‍ය වන බවත්, සියලු මැතිවරණ නියමිත කාලයට පැවැත්වීම රජයේ අරමුණ වන අතර පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.














