ශ්‍රී ලංකා තැපෑල නව්‍යකරණය කිරීම සම්බන්ධ පූර්ව සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර ජනාධිපති කාර්යාලයේදී අද (07) පස්වරුවේ පැවැත්විණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබා දුන් උපදෙස් පරිදි, තැපැල් සේවාව වඩාත් කාර්යක්ෂම හා ලාභදායී සේවාවක් බවට පත් කිරීමේ අරමුණින් මෙම සාකච්ඡාව සංවිධානය කර තිබිණි. තැපැල්පති එස්. ආර්. ඩබ්ලිව්. එම්. ආර්. පී සත්කුමාර මහතා මෙහිදී පෙන්වා දුන්නේ, මූල්‍ය සේවා, සාම්ප්‍රදායික තැපැල් සහ භාණ්ඩ බෙදාහැරීම යන ධාරාවන් ඔස්සේ සේවා සපයන තැපැල් දෙපාර්තමේන්තුවට භාණ්ඩ බෙදාහැරීමේ වෙළෙඳපොළ තුළ 10-15%ක පමණ ප්‍රදේශයක් කඩිනමින් පුළුල් කර ගැනීමේ හැකියාව පවතින බවයි.
නවීන ලෝකයේ වෙනස්කම්වලට මුහුණ දෙමින් තැපැල් සේවාව පරිවර්තනය කළ යුතු බව පෙන්වා දුන් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා, ඊ-වාණිජ්‍ය (E-Commerce) සහ අන්තර්ජාලය පදනම් කරගත් භාණ්ඩ බෙදාහැරීමේ නව ව්‍යාපාරික අවස්ථා කරා යොමු වීම සඳහා දෙපාර්තමේන්තුවේ කාර්යමණ්ඩලය සහ යටිතල පහසුකම් ප්‍රතිසංවිධානය කළ යුතු බව අවධාරණය කළේය.














