දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණින් විශේෂිත පුහුණු වැඩසටහනකට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාව පුරා තෝරාගත් කිරි ගොවීන් 19 දෙනෙකුට ඉන්දියාවේදී පුහුණුව ලබා දීමට නියමිත බව කෘෂිකර්ම, පශු සම්පත්, භූම හා වාරිමාර්ග අමාත්‍යාංශය පවසයි.
අගෝස්තු 16 වන දින ඉන්දියාව වෙත පිටත්ව යාමට නියමිත මෙම ගොවීන් පිරිස, පිටත්ව යාමට ප්‍රථම සිකුරාදා (07) අමාත්‍යාංශයේදී කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නමල් කරුණාරත්න මහතා මුණගැසී තිබේ. ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඉල්ලීමක් මත සම්පූර්ණයෙන්ම ඉන්දීය රජයේ අරමුදල් මත ක්‍රියාත්මක වන මෙම වැඩසටහන යටතේ දිවයින පුරා සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂවල නියෝජනයක් ලැබෙන පරිදි ගොවීන් තෝරාගෙන ඇත.
ගුජරාටයේ ආනන්ද් (Anand) හි පිහිටි ජාතික කිරි සංවර්ධන මණ්ඩලයේදී (NDDB) මෙම පුහුණුව පැවැත්වෙන අතර, ලොව ප්‍රමුඛ පෙළේ කිරි සමුපකාරයක් වන ‘අමුල්’ (Amul) ආයතනයේ මෙහෙයුම් නිරීක්ෂණය කිරීමටද මෙහිදී සහභාගී වන්නන්ට අවස්ථාව ලැබේ. තාක්ෂණය, කිරිගොවිපළ කළමනාකරණය, අගය ශක්තිමත් කිරීමේ සංවර්ධනය සහ පශු පෝෂණය හරහා කිරි නිෂ්පාදනය වැඩි කිරීම කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇත.














