සමාජයේ පැවති සාමූහිකත්වය සහ අන්‍යෝන්‍ය සහයෝගය යලි ගොඩනැගීම “අත්තම” සංකල්පයේ මූලික අරමුණ බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා පවසනවා. “එකමුතුව එක්වෙමු – පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනගමු” යන තේමාව යටතේ ක්‍රියාත්මක වූ “අත්තම” ජාතික පවිත්‍රතා දින වැඩසටහනට කිරිබත්ගොඩ නගරය කේන්ද්‍ර කරගනිමින් එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
දිවයිනේ සෑම ග්‍රාම නිලධාරී වසමකම ප්‍රජා සංවර්ධන සභා සාමාජිකයන්ගේ මූලිකත්වයෙන්, ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ සහ ප්‍රදේශවාසී ජනතාවගේ සහභාගිත්වයෙන් මෙම වැඩසටහන පැවැත්වුණු අතර, කිරිබත්ගොඩ ගාලහන්දියේ පිහිටි ශරීර සුවතා මංතීරුව අසලින් පවිත්‍රතා කටයුතු ආරම්භ කර පොළ භූමිය දක්වා වූ ප්‍රධාන මාර්ගය පිරිසිදු කිරීම සිදු කෙරිණි. ඉදිරි මාස කිහිපය තුළ සෑම මසකම අවසන් සෙනසුරාදා දින මෙම වැඩසටහන පැවැත්වීමට සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා පැවසුවේ ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා වන 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහ අදාළ පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය හිමිව ඇති බවයි. එමෙන්ම බන්ධනාගාර තුළ මෑතකදී ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයන් පසුගිය මාස 18 තුළ මත්ද්‍රව්‍ය ජාල සහ අපරාධකරුවන්ට එරෙහිව ගත් දැඩි ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් වන අතර, ආරක්ෂාව තහවුරු කිරීමට ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවත්, වංචාවෙන්, දූෂණයෙන් හෝ අපරාධවලින් තොරව ජනතා අභිලාෂයන්ට අනුව රාජ්‍ය පාලනය මෙහෙයවන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
කැලණිය ප්‍රාදේශීය ලේකම් ගයනී රණසිංහ මහත්මිය, ප්‍රාදේශීය මහජන නියෝජිතයන්, රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.














