2026 වර්ෂය සඳහා වන ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ජාතික බාලදක්ෂ සේවා සහ මහජන සම්බන්ධතා ව්‍යාපෘතිය දියත් කිරීමේ උත්සවය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. මෙහිදී ජනාධිපති ලේකම්වරයා වෙත ජාතික බාලදක්ෂ කර ලේන්සුව පළඳවා පිළිගැනීම සිදු කෙරිණි. ප්‍රධාන බාලදක්ෂ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත මෙම වැඩසටහන සංවිධානය කර ඇති අතර, ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතා මෙහිදී සඳහන් කළේ වැඩිහිටියන් තමන් වෙනුවෙන් දරන ශ්‍රමයේ වටිනාකම කුඩා අවධියේ සිටම දරුවන්ට ප්‍රායෝගිකව අවබෝධ කරදීම තුළින් සහකම්පනයෙන් යුත් අනාගත පරපුරක් බිහි කිරීම බාලදක්ෂ සේවා ක්‍රියාකාරකම්වල ප්‍රධාන අරමුණක් බවයි. උත්සවයේ ප්‍රධාන දේශනය සිදු කළ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පැවසුවේ, දිවයින පුරා විහිදී සිටින බාලදක්ෂ සාමාජිකයන් සමඟ එක්ව රජයේ “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට දායක විය හැකි අයුරින් ක්‍රමවත් සැලැස්මක් සකස් කිරීමට කටයුතු කරන බවයි. දරුවන් සහ තරුණ පරපුර යහපත් හා වගකීම් සහිත පුරවැසියන් බවට පත් කිරීමට බාලදක්ෂ ව්‍යාපාරය ලබාදෙන දායකත්වය අගය කළ ඒ මහතා, ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි බාලදක්ෂ ව්‍යාපාරයේ ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීමට අවශ්‍ය සියලු සහයෝගය ලබාදෙන බවද ප්‍රකාශ කළේය. මෙම අවස්ථාවට බාලදක්ෂ සංගමයේ කොමසාරිස්වරුන්, සහකාර ප්‍රධාන කොමසාරිස්වරුන්, මූලස්ථාන සහ පළාත් කොමසාරිස්වරුන් ඇතුළු සිඟිති, පෝතක, මානවක සහ රෝවර් බාලදක්ෂයින් මෙන්ම බාලදක්ෂ නායක නායිකාවන් පිරිසක් එක්ව සිටියහ.














