එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම් සහ එක්සත් ජාතීන්ගේ ගෝලීය සංසදයේ (UN Global Compact) ප්‍රධාන විධායක නිලධාරි Sanda Ojiambo මහත්මිය ඇතුළු දූත පිරිස සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් අගෝස්තු 11 දින අරලියගහ මන්දිරයේ දී සිදු විය.
ආසියා පැසිෆික් කලාපය සඳහා එක්සත් ජාතීන්ගේ ගෝලීය සංසදය විසින් සංවිධාන කරන ලද “Forward Faster Now 2026” වැඩසටහන යටතේ පැවති SDG ආයෝජන සමුළුවට සමගාමීව මෙම හමුව පැවැත්විණි. ශ්‍රී ලංකාව වැදගත් සංධිස්ථානයකට පැමිණ ඇති අවස්ථාවක ක්‍රියාත්මක වන මෙම වැඩසටහන අග්‍රාමාත්‍යතුමියගේ පැසසුමට ලක් වූ අතර, රටේ ස්ථාවරත්වය යළි ගොඩනැගීමෙන් පසු සියලු දෙනා ඇතුළත් කරගත්, තිරසාර සහ හරිත ආර්ථිකයක් ගොඩනැගීම කෙරෙහි රජය අවධානය යොමු කර ඇති බව ඇය සඳහන් කළාය.
ආයෝජන ආකර්ෂණය කර ගැනීමේදී ශ්‍රී ලංකාවට සුවිශේෂී ලෙස ලබාදිය හැකි සේවා සහ සන්නාමයන් හඳුනාගෙන ඒවා ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාවද, පෞද්ගලික අංශය සදාචාරාත්මක, සියලු දෙනා ඇතුළත් කරගන්නා සහ තිරසාර භාවිතයන් අනුගමනය කරමින් රජයේ පුළුල් සංවර්ධන මූලධර්ම සමඟ කටයුතු කිරීමේ වැදගත්කමද අග්‍රාමාත්‍යතුමිය මෙහිදී අවධාරණය කළාය.
රාජ්‍ය සහ පෞද්ගලික අංශ අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ගෝලීය සංසදය මඟින් සිදුකරන කාර්යභාරය පිළිබඳව Sanda Ojiambo මහත්මිය අග්‍රාමාත්‍යතුමිය දැනුවත් කළ අතර, ජාතික සංවර්ධන ප්‍රමුඛතා සහ තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) සඳහා ව්‍යාපාරික ආයතන තිරසාර භාවිතයන් අනුගමනය කිරීමට දිරිගැන්වීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග ගැනද සඳහන් කළාය.
මෙම අවස්ථාවට දෙපාර්ශ්වයේ උසස් නිලධාරීන් සහ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයෝ පිරිසක් සහභාගී වූහ.














