ඊශ්‍රායලයේ ඉදිකිරීම් හා හෝටල් ක්ෂේත්‍රයේ රැකියා ලබාදෙන බව පවසා රැකියා අපේක්ෂිතයින්ගෙන් මුදල් අය කළ පුද්ගලයින් දෙදෙනෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය තුළදී අත්අඩංගුවට ගෙන තිබේ.
විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාට ලද තොරතුරකට අනුව, කාර්යාංශයේ විශේෂ විමර්ශන පොලිස් ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (12) මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. රජයේ මැදිහත්වීමෙන් ලබාදෙන ඊශ්‍රායල රැකියා ලබාදිය හැකි බව පවසා පිටස්තර පුද්ගලයින් දෙදෙනෙකු වෙබ් අඩවි හරහා රැකියා අපේක්ෂා කරන අයගෙන් මුදල් එකතු කරන බවට තොරතුරු අනාවරණය වී තිබුණි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර බුත්තල ප්‍රදේශයේ පදිංචි සේවය අත්හිටුවනු ලැබූ පොලිස් කොස්තාපල්වරයෙකු සහ බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වෙති. ඔවුන් සතුව තිබී විදේශ ගමන් බලපත්‍ර 7ක් සහ ඊශ්‍රායල් රැකියා ගිවිසුම් පත්‍රිකා ද නිලධාරීන් භාරයට ගෙන ඇත.
මොවුන් කාර්යාංශයේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් රැකියා අපේක්ෂිතයින් කිහිපවරක්ම කාර්යාංශය තුළට කැඳවා ඇති අතර, මීට පෙර ඊශ්‍රායල් රැකියා ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ඇප මත මුදා හැද සිටින චාන්දනී මැණිකේ නම් කාන්තාවක් විසින් මෙම සැකකරුවන් මෙහෙයවා ඇති බවද විමර්ශනවලදී හෙළි වී තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (13) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.














