පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ ප්‍රධාන විත්තිකරු වන මොහොම්මදු ඉබ්‍රහීම් මොහොම්මදු නව්ෆර් හෙවත් නවුෆර් මවුලවි, තමන්ට එරෙහිව එල්ල වී ඇති සියලු චෝදනා කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර තිබේ.
නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන විනිසුරු මඩුල්ල ඉදිරියේ පැවති නඩු විභාගයේදී විත්ති කූඩුවේ සිට පැය දෙකට ආසන්න කාලයක් සිය විත්තිවාචකය ඉදිරිපත් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.
තමන් ත්‍රස්තවාදය හෝ අන්තවාදය ප්‍රවර්ධනය වන ආකාරයට ආගමික දේශන පවත්වා නොමැති බවත්, අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ ක්‍රියාකාරකම්වලට එරෙහිව සමාජ මාධ්‍ය හා දේශන හරහා අදහස් දක්වා ඇති බවත් ඔහු පැවසීය. එසේම, සහරාන් හෂීම් ඇතුළු මරාගෙන මැරෙන ප්‍රහාරකයන් සමඟ එක්ව පාස්කු ප්‍රහාරය කුමන්ත්‍රණය කළ බවට හෝ සැලසුම් කළ බවට කිසිදු සාක්ෂියක් නොමැති බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලබාගත් බව කියන පාපොච්චාරණය සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ බලහත්කාරයෙන් ලබාගත් එකක් බවත් නවුෆර් මවුලවි අධිකරණයට දන්වා සිටියේය.














