ආපදා තත්ත්වයන් කල්තියා හඳුනාගැනීම සහ එවැනි අවස්ථාවල මතුවන ගැටළුවලට සාර්ථකව මුහුණදීම සඳහා දිවයින පුරා ග්‍රාම නිලධාරී වසම් 1,000ක ප්‍රජා සාමාජිකයින් 20,000ක් පමණ දැනුවත් කර පුහුණු කිරීමට පියවර ගෙන තිබේ.
“Training of Trainers on Community Capacity and Resilience for Health Emergency Preparedness and Response (C3R)” නම් මෙම විශේෂ පුහුණු වැඩසටහනේ සමාරම්භය සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර වෛද්‍ය හර්ෂ සුරංග යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මහනුවර Myst by Cinnamon හෝටලයේදී (18) ආරම්භ විය.
ප්‍රදේශයට ආවේණික ආපදා අවදානම් හඳුනාගැනීමට, ආපදා අවස්ථාවලදී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ පුහුණු වීමට සහ අත්‍යාවශ්‍ය සම්පත් මනා ලෙස යොදා ගනිමින් ප්‍රජාවගේ ප්‍රතිචාර දැක්වීමේ හැකියාව ශක්තිමත් කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ වේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය, අධිකරණ සහ ආපදා කළමනාකරණ අමාත්‍යාංශ ත්‍රිත්වයේ ඒකාබද්ධ දායකත්වයෙන් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන සඳහා යුනිසෙෆ් (UNICEF) සංවිධානයේ සහ ලෝක බැංකුවේ වසංගත අරමුදලේ (The Pandemic Fund) සහාය ද හිමිව ඇත. මීට අදාළ පළමු අදියර යටතේ මහනුවර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් දිස්ත්‍රික්ක 10ක් නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටිති.














