ශ්‍රී ලංකා ජාතික රෝහලේ (NHSL) හෘද හා උරස් කුහර ශල්‍යකර්ම සේවා පුළුල් කරමින්, එහි පවතින දිගු රෝගී පොරොත්තු ලේඛන කඩිනමින් අවසන් කිරීම සඳහා වූ ත්‍රිපාර්ශ්වික අවබෝධතා ගිවිසුමකට (MOU) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී නිල වශයෙන් අත්සන් තබා තිබේ.
ආරක්ෂක අමාත්‍යාංශය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය (KDU) අතර මෙම ඓතිහාසික ගිවිසුම අත්සන් තැබුණු අතර, ඒ සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත සහ KDU උපකුලපති රියර් අද්මිරාල් එච්.ජී.යූ. ධම්මික කුමාර යන මහත්වරුන් එක්වූහ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවකට අනුව ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ යටතේ, KDU රෝහලේ පවතින උසස් නවීන ශල්‍යාගාර සහ දියුණු වෛද්‍ය උපකරණ, ජාතික රෝහලේ සේවාවන්හි දිගුවක් ලෙස (Extension) භාවිත කෙරේ. ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සායනික කාර්ය මණ්ඩලයේ මැදිහත්වීමෙන් පොරොත්තු ලේඛනවල සිටින රෝගීන් සඳහා KDU රෝහල් පරිශ්‍රයේදී හෘද සැත්කම් සිදු කිරීමට නියමිත අතර, රාජ්‍ය අංශයේ සම්පත් ඒකාබද්ධ කරමින් ක්‍රියාත්මක වන මෙම සුවිශේෂී වැඩපිළිවෙළ නිදහස් සෞඛ්‍ය සේවයේ තවත් වැදගත් සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැක.














