මොන්ගෝලියාවේ උලාන්බාටාර් නුවර පැවැති කාන්තාරීකරණයට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතියේ 17 වැනි පාර්ශ්වකරුවන්ගේ සමුළුව (UNCCD COP17) අතරතුර, පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා සහ UNCCD විධායක ලේකම් යස්මින් ෆෝඩ් (Yasmine Fouad) මහත්මිය අතර විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදී. ශ්‍රී ලංකාවේ පරිසර අමාත්‍යවරයෙකු UNCCD පාර්ශ්වකරුවන්ගේ සමුළුවකට සහභාගී වන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.
භූමි හායනය, නියඟය, භූමි ප්‍රතිසංස්කරණය සහ තිරසර භූමි කළමනාකරණය සම්බන්ධයෙන් UNCCD වෙතින් ලැබෙන අඛණ්ඩ සහයෝගයට අමාත්‍යවරයා ස්තූතිය පළ කළ අතර, දේශගුණික ආපදා හමුවේ ශ්‍රී ලංකාවේ ඔරොත්තු දීමේ හැකියාව සහ සූදානම ශක්තිමත් කිරීම සඳහා සහයෝගීතාව තවදුරටත් පුළුල් කරන ලෙස ඉල් සිටියේය.
මෙම සාකච්ඡාවේදී මූල්‍ය සහ තාක්ෂණික සහාය සම්බන්ධයෙන් අවධානය යොමු වූ අතර, COP17 සමුළුවේදී ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් භූමි හායනය සහ කාන්තාරීකරණ ක්‍රියාමාර්ග සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 2ක මූල්‍ය සහායක් ලබාදීමට ප්‍රතිඥා දී ඇති බවත්, UNCCD Global Mechanism හරහා ශ්‍රී ලංකාවට ඊට අදාළ තාක්ෂණික සහාය ලබාගත හැකි බවත් සාකච්ඡා විය.
තවද, Riyadh Drought Resilience Partnership යටතේ නියඟ කළමනාකරණ සැලැස්ම දියුණු කිරීමටත්, UNESCO සමඟ එක්ව ශ්‍රී ලංකාවේ එල්ලංගා ජල කළමනාකරණ පද්ධතිය සංවර්ධනය කිරීමටත් එකඟතාව පළ විය. ශ්‍රී ලංකාවේ එල්නිනෝ (El Niño) කළමනාකරණය සඳහා පිහිටුවා ඇති අමාත්‍ය මණ්ඩල අනුකමිටුවට අවශ්‍ය සහාය ලබා දීමටත්, ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (WMO) සමඟ ඒකාබද්ධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත් විධායක ලේකම්වරිය එකඟතාව පළ කළාය.
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස අමාත්‍යවරයා විසින් UNCCD විධායක ලේකම්වරිය වෙත නිල වශයෙන් ආරාධනා කර ඇති අතර, 2030න් පසු UNCCD රාමුව සකස් කිරීමේදී සංවර්ධනය වෙමින් පවතින රටවල සහ ආසියා – පැසිෆික් කලාපයේ අවශ්‍යතා නිසි ලෙස පිළිබිඹු කරන ලෙසද ශ්‍රී ලංකාව මෙහිදී අවධාරණය කළේය.
















