සහනදායී පදනම මත මෝටර් රථ බලපත්‍ර ලබාදීමේ චක්‍රලේඛ විධිවිධාන හා උපදෙස්වලට පටහැනිව, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ නිලධාරීන් තිදෙනකුට රුපියල් එක්කෝටි අටලක්ෂයකට (10,800,000) ආසන්න වටිනාකමකින් යුත් සහනදායී මෝටර් වාහන බලපත්‍ර නිකුත් කර ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ විශේෂ විගණන වාර්තාවක් මගින් අනාවරණය කර තිබේ.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අටවන හා නවවන පාර්ලිමේන්තු වාරයන් පිළිබඳව සිදුකළ මෙම විගණනයේදී අනාවරණය වී ඇති කරුණු අනුව, මෙම සහනදායී බලපත්‍ර ලබා දී ඇත්තේ සහකාර අධ්‍යක්ෂවරුන් තිදෙනකුට වන අතර, ඔවුන් ජ්‍යෙෂ්ඨ මට්ටමට අයත් විධායක තනතුරක අපේක්ෂිත වසර හයක සක්‍රීය සේවා කාලයක් සම්පූර්ණ කර නොතිබුණි. අදාළ නිලධාරීන්ගේ සේවා කාලයන් පිළිවෙළින් වසර 1කට හා දින 9ක් ලෙසද, වසර 1යි මාස 1යි දින 28ක් ලෙසද, මාස 2යි දින 11ක් ලෙසද වාර්තා වී ඇත.
චක්‍රලේඛ නීති කඩ කරමින් මෙම බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු කළ නිලධාරීන්ට එරෙහිව පවත්නා නීති රීති යටතේ පියවර ගන්නා ලෙසත්, අදාළ බලපත්‍ර ලබාගත් නිලධාරීන් සම්බන්ධයෙන් කටයුතු කරන ලෙසත් විගණනය මගින් දැඩිව නිර්දේශ කර ඇත. ඉදිරියේදී බලපත්‍ර නිකුත් කිරීමේදී නියමිත හිමිකම් ලබන නිලධාරීන්ට පමණක් ඒවා ලබාදීමට කටයුතු කළ යුතු බවද පෙන්වා දී තිබේ.
















