ශ්‍රී ලංකාව දැනට අත්සන් කර ඇති නිදහස් වෙළඳ ගිවිසුම්වල (FTAs) සඵලතාවය සහ අනාගත වෙළඳ ගිවිසුම් සකස් විය යුතු ආකාරය පිළිබඳව අධ්‍යයනය කිරීමට පත් කරන ලද කැබිනට් අනුකමිටුව විසින් සිය වාර්තාව කැබිනට් කාර්යාලය වෙත භාර දී ඇත.
වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඒ. විමලේන්තිරාජා මහතාගේ සභාපතීත්වයෙන් යුත් මෙම කමිටුව විසින් සකස් කරන ලද වාර්තාව ඉදිරි දිනවලදී අමාත්‍ය මණ්ඩලය විසින් සලකා බැලීමට නියමිතය. ශ්‍රී ලංකාව මීට පෙර ඉන්දියාව, පාකිස්තානය, සිංගප්පූරුව සහ තායිලන්තය සමඟ නිදහස් වෙළඳ ගිවිසුම් අත්සන් කර ඇති අතර, ඉදිරි අනාගතයේදී නව වෙළඳ ගිවිසුම් වෙත එළඹීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේද සහ පවතින ගිවිසුම්වලින් රටට ලැබී ඇති ප්රතිලාභ පිළිබඳව මෙම වාර්තාව මඟින් පුළුල් ලෙස සමාලෝචනය කර ඇත.
















