අය වැය ප්‍රතිපාදන සහ සහනදායී ණය යෝජනා ක්‍රම හරහා යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා රජය මැදිහත් වුවද, වෙළඳපළ තත්ත්වයන්, ධාරිතාව සහ මූලික ආර්ථික ගැටලු හේතුවෙන් ගොවීන්ට, මෝල් හිමියන්ට සහ රජයට තවදුරටත් බරපතල අභියෝගවලට මුහුණ දීමට සිදුව තිබේ.
රට තුළ පවතින වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය වඩාත් තිරසාර කිරීමට නම් මූල්‍ය පහසුකම් ලබාදීමට අමතරව ඵලදායී සහ විනිවිදභාවයකින් යුත් මිල නියම කිරීමේ රාමුවක් අවශ්‍ය බව කෘෂිකාර්මික හා වටිනාකම් දාම විශේෂඥයන් පෙන්වා දෙයි. විශේෂයෙන්ම, කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට රුපියල් මිලියන 25 දක්වා වන පොලී රහිත ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දී ඇතත්, පෙර ණය නොගෙවීම හේතුවෙන් බහුතරයක් මෝල් හිමියන් එම ණය ලබාගැනීමට මැලි වීම සහ වෙළඳපළේ පවතින ආනයනික තත්ත්වයන් නිසා වී නිෂ්පාදන කර්මාන්තය අඩාල වී ඇති බව ගොවි සංවිධාන සහ සහල් නිෂ්පාදකයින් පෙන්වා දෙයි.
ගොවීන් විසින්තිකරුණු දක්වන පරිදි, රජය විසින් නියමිත සහතික මිලට වී මිලදී ගැනීමට සීමිත ප්‍රතිපාදන ප්‍රමාණයක් පමණක් පවතින බැවින්, අතිමහත් වී අස්වැන්නක් තවදුරටත් ගොවීන් සහ අතරමැදියන් සතුව ඉතිරිව පවතී. මීට අමතරව, වෙළඳපළේ සහල් මිල පහළ යෑම හේතුවෙන් සහතික මිලට වී මිලදී ගෙන මෝල් හිමියන්ට එම මිලට සහල් අලෙවි කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවත්, මීට ස්ථිර විසඳුමක් ලෙස රජය විසින් පශ්චාත් අස්වැන්න කළමනාකරණය, ගබඩා පහසුකම් වැඩිදියුණු කිරීම සහ වෙළඳපළ ක්‍රමවේදය විධිමත් කිරීමට පියවර ගත යුතු බවත් විද්වතුන් පෙන්වා දෙති.
















