පසුගිය කාලයේ දැදුරුඔයේ ඉවක් බවක් නොමැතිව සිදුවූ වැලි කැපීම හේතුවෙන් ඔයේ ස්වාභාවික ගමන් මාර්ගය වෙනස් වී ඇති අතර, ඒ නිසා හලාවත – ආරියගම පුරාණ චේතිය රාජ මහා විහාරස්ථානය දැදුරුඔයට බිලිවීමේ දැඩි අවදානමකට මුහුණ දී තිබේ. දැදුරුඔයේ සීමාව ඉක්මවා වැලි කැපීම නිසා උතුරු දෙස ඉවුරේ විශාල වැලි කඳු නිර්මාණය වී, ඔයේ දකුණු ඉවුර බිඳගෙන ජලය ගැලීම නිසා පුරාණ චෛත්‍යයේ කොටසක් දැනටමත් දැදුරුඔයට බිලි වී ඇති බව විහාරාධිපති පූජ්‍ය නල්ලූරුවේ සුමනසාර හිමියෝ පවසති. කළුගල් සහ වැලි කොට්ට යොදා චෛත්‍යය යම් තරමකින් බේරා ගත්තද, කඩිනම් විසඳුමක් ලබා නොදුනහොත් චෛත්‍යය පමණක් නොව මුළු පන්සල් වත්තම දැදුරුඔයට බිලි වනු ඇත. මෙම විහාරස්ථාන භූමිය මීට වසර දෙකකට පමණ පෙර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පවරාගෙන සීමා මායිම් යොදා ඇති බැවින්, කිසිදු කැණීමක් හෝ අලුත් ඉදිකිරීමක් තමන්ට කළ නොහැකි බවත්, මේ පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නද කිසිදු නිලධාරියෙකු සොයා බැලීමට පැමිණ නැති බවත් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.
දුටුගැමුණු රජ සමයේ නන්දමිත්‍ර යෝධයා විසින් හලාවත සහ පල්ලම ප්‍රදේශවල ඉදිකර ඇති ප්‍රධාන විහාරස්ථාන අතර පල්ලම නන්දමිත්‍ර විහාරස්ථානය සහ ආරියගම චේතීය රාජ මහා විහාරස්ථානය හැඳින්වෙන අතර, මෙම භූමියේ ගරා වැටී ඇති චෛත්‍යයක් සහ පුරාණ නටබුන් කිහිපයක්ම දක්නට ලැබුණද, බොහෝ නටබුන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් රැගෙන ගොස් ඇත.
මීට වසර කිහිපයකට පෙර මීටර් 500ක් පමණ ඈතින් ගලා ගිය දැදුරුඔය, මේ වන විට දකුණු ඉවුර ඛාදනය කරමින් පන්සල් වත්ත දිය කරමින් පවතින බවත්, දකුණු ඉවුරේ ඇති වැලි කන්ද ඉවත් කර අතීතයේ තිබූ ආකාරයටම දැදුරුඔයට ගලා යන්නට ඉඩ සැලැස්වීම මෙයට එකම විසඳුම බවත් දායක සභාවේ සාමාජික එම්.එම්. ජයවර්ධන මහතා පවසයි. එසේම, දැදුරුඔය පිටාර ගැලීමේදී ගමේ ජනතාව ආරක්ෂාවට නතර වන රජය විසින් ඉදි කළ දෙමහල් ධර්ම ශාලාව ඇතුළු විහාර ගේ, බෝ මළුව සහ පුරාණ චෛත්‍යය ඉදිරි වැසි සමයේදී සම්පූර්ණයෙන්ම විනාශ වී යාමේ අවදානමක් පවතින බව දායක සභාවේ සාමාජික එස්.ඒ. විපුල ධර්මප්‍රිය මහතා පෙන්වා දෙයි.
















