අධිකරණ තීන්දු ප්‍රමාද වීම හේතුවෙන් විභාග වෙමින් පවතින නඩුවලට අදාළ සැකකරුවන් පිරිස සීඝ්රයෙන් ඉහළ යාම නිසා පාකිස්ථානයේ බන්ධනාගාර තුළ දැඩි තදබදයක් නිර්මාණය වී ඇතැයි වාර්තා වේ.
එරට පිහිටි බන්ධනාගාරවල රඳවා තැබිය හැකි උපරිම රැඳවියන් සංඛ්‍යාව 64,000ක් පමණ වුවද, මේ වන විට රට පුරා පිහිටි බන්ධනාගාරවල රැඳවියන් 110,000කට ආසන්න සංඛ්‍යාවක් රඳවා සිටිති. වැඩිම බන්ධනාගාර රැඳවියන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ පන්ජාබ් ප්‍රාන්තයෙන් වන අතර, එහි සමස්ත ධාරිතාව 38,000ක් වුවද දැනට රැඳවියන් 70,000ක් පසුවෙති. එම රැඳවියන්ගෙන් වරදකරුවන් වී ඇත්තේ 16,000ක් පමණක් වන අතර ඉතිරි බහුතරය නඩු විභාග වෙමින් පවතින සැකකරුවන් වේ. සින්ද් සහ කයිබර් පක්තුන්ක්වා යන ප්‍රාන්තවලද තත්ත්වය මීට සමාන වන අතර, සමස්තයක් ලෙස බන්ධනාගාර ජනගහනයෙන් වැඩිම ප්‍රතිශතයක් නියෝජනය කරන්නේ නඩු විභාග අවසන් නොවූ රැඳවියන්ය.
















