වර්තමානයේ පවතින දැඩි නියං තත්වය හමුවේ කුමන හා ගල්ඔය ජාතික උද්‍යානවල කඳවුරු බිම් සියලුම සංචාරකයන් සඳහා තාවකාලිකව වසා දැමීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. ඒ අනුව, කුමන ජාතික උද්‍යානයේ ඇද කුඹුක I හා II, ගල් අමුණ, හෙරලිගස් ආර, මෝයකට සහ ගල්ඔය ජාතික උද්‍යානයේ හත්පොත පිවිසුමට අදාළ සියලු කඳවුරු බිම් සඳහා සිදුකර ඇති වෙන්කිරීම් අවලංගු කර ඇති අතර, ඉදිරිය සඳහා ද කඳවුරු බිම් වෙන්කිරීම් අත්හිටුවා තිබේ.
මීට අමතරව, යාල ජාතික උද්‍යානයේ කලාප අංක I හා II ට අයත් සංචාරක නිවාස සහ කඳවුරු බිම් සඳහා සැප්තැම්බර් 07 වැනි දින පැවැත්වීමට නියමිතව තිබූ කුසපත් ඇදීම (Raffle Draw) මඟින් එළඹෙන ඔක්තෝබර් මාසය සඳහා ඒවා විවෘත නොකෙරේ. පවතින දැඩි නියං තත්වය සමනය වීමෙන් අනතුරුව, අවලංගු වූ වෙන්කිරීම් සඳහා නව දින ලබාදීමෙන් පසු එම කඳවුරු බිම් සහ සංචාරක නිවාස නැවත නව වෙන්කිරීම් සඳහා සංචාරකයන්ට විවෘත කිරීමට නියමිතය.
















