පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් ඊයේ (02) දහවල් ආහාර විවේකයේදී සංකේත විරෝධතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක කර තිබේ. විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය දිවයින පුරා ක්‍රියාත්මක කළ විරෝධතාවලට සමගාමීව, පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිතිය පේරාදෙණිය ගලහ මංසන්ධියේදී මෙම විරෝධතා ව්‍යාපාරය පැවැත්වීමට කටයුතු කර ඇත.
විශ්වවිද්‍යාල සඳහා බඳවාගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව පසුගිය වසර කිහිපය පුරා ඉහළ නැංවීමට කටයුතු කර තිබුණද, ඊට සමගාමීව ආචාර්යවරුන් බඳවාගැනීමට සහ පහසුකම් ඉහළ නැංවීමට කටයුතු නොකිරීම හේතුවෙන් මේ වන විට සේවයේ යෙදී සිටින ආචාර්යවරුන්ගේ කාර්යභාරය ඉහළ ගොස් ඔවුන් විශාල පීඩනයකට පත්ව ඇති බව ඔවුහු පෙන්වා දෙති. ආචාර්යවරුන්ගේ සංඛ්‍යාව සහ පහසුකම් ඉහළ නැංවීමට කටයුතු නොකරන්නේ නම් බඳවාගනු ලබන සිසුන් ප්‍රමාණය සීමා කිරීමට කටයුතු කළ යුතු බව ඔවුන්ගේ විරෝධතාවයේ මූලික ඉල්ලීම වී තිබේ.
ශාස්ත්‍ර පීඨ ආචාර්ය සමිතියේ සභාපති මහාචාර්ය ආනන්ද ජයවික්‍රම මහතා ඇතුළු කිහිපදෙනෙකු විරෝධතා ව්‍යාපාරය අමතා අදහස් පළ කර ඇත.
















