හෝමූස් සමුද්‍ර සන්ධිය ආශ්රිත නාවික කලාපය අමෙරිකා එක්සත් ජනපදයේ පාලනය යටතේ පවතින බව යළිත් අවධාරණය කරමින්, එම සමුද්‍ර සන්ධිය තමන්ගේ නමින් නැවත නම් කරන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යෝජනා කර තිබේ. දකුණු ඉරානයේ සිරින්ක් නගරයේ පැවැති උත්සවයකට එල්ල වූ ප්‍රහාරයකින් සිව්දෙනෙකු මියයාමේ පුවත වාර්තා වී පැය 24ක් ගතවීමටත් මත්තෙන් ඔහු මෙම අදහස් පළ කර ඇත.
“දැන් මෙම කලාපය ඇමෙරිකාවේ පාලනය යටතේ පවතින බැවින්, අපි හෝමූස් සමුද්‍ර සන්ධිය ‘ට්‍රම්ප් සමුද්‍ර සන්ධිය’ (TRUMP STRAIT) ලෙස නම වෙනස් කළ යුතුද?” යනුවෙන් ජනාධිපතිවරයා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රශ්න කර තිබේ. මේ අතර, පවතින සන්නද්ධ ගැටුම් හේතුවෙන් අමෙරිකාව තුළ පෙට්‍රල් මිල ගැලුමකට ඩොලර් 4.12 දක්වා ඉහළ ගොස් ඇති අතර, කලාපය තුළ ඇමෙරිකානු සහ සන්ධාන කඳවුරු ඉලක්ක කර ඉරානය විසින් දිගින් දිගටම මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරනු ලබයි. විචාරකයින් පෙන්වා දෙන්නේ අර්බුදකාරී යුද්ධය හමුවේ තම බලය තහවුරු කිරීමට ජනාධිපතිවරයා දරන උත්සාහයක තවත් පියවරක් ලෙස මෙම යෝජනාව සැලකිය හැකි බවයි.
















