භූතාන සිසුන්ට ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල දන්ත වෛද්‍ය විද්‍යාව, වෛද්‍ය විද්‍යාව (MBBS) සහ භෞත චිකිත්සාව ඇතුළු සෞඛ්‍ය විද්‍යා ක්ෂේත්‍රවල උපාධි පාඨමාලා හැදෑරීම සඳහා අවස්ථා ලබාදීම පිළිබඳව අවධානය යොමු වී තිබේ. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය හා සෞඛ්‍ය විද්‍යා ක්ෂේත්‍රවල පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු සඳහා භූතාන සිසුන්ට අවස්ථා පුළුල් කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කර ඇත.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ භූතාන අධ්‍යාපන හා නිපුණතා සංවර්ධන අමාත්‍ය යීසාං දේ තාපා මහතා අතර ඊයේ (03) පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවේදී මේ පිළිබඳව අවධානය යොමුවී ඇත. 2026 සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍යවරිය මේ දිනවල භූතානයේ සංචාරයක නිරතව සිටින අතර, දෙරට අතර අධ්‍යාපන හා වෘත්තීය පුහුණු ක්ෂේත්‍රවල සහයෝගීතාව පුළුල් කරමින් අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට ද දෙපාර්ශ්වය එකඟ වී තිබේ.
















