පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන සිරගත කළද, ලබන 12 වනදා අනුරාධපුරයේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දැවැන්ත ජන රැළිය කිසිදු බාධාවකින් තොරව අතිසාර්ථක අයුරින් පවත්වන බව එම පක්ෂයේ ප්‍රකාශක මිලින්ද රාජපක්ෂ මහතා පැවසීය. අද (04) පෙරවරුවේ නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටි අවස්ථාවේදී, එම පරිශ්‍රයෙන් පිටත රැඳී සිටි මාධ්‍යවේදීන් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මිලින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ, නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගත් පසු ගම් මට්ටමින් රතිඤ්ඤා පත්තු කර, බැනර් සහ කටවුට් ප්‍රදර්ශනය කරමින් සැමරීමට සූදානම් වන ලෙස ජනතා විමුක්ති පෙරමුණ විසින් සිය පාක්ෂිකයන් වෙත වට්ස්ඇප් පණිවිඩ මගින් උපදෙස් දී ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි. ආණ්ඩුවට විරුද්ධව හඬ නගන විට සහ පක්ෂය ශක්තිමත් වන විට මෙවැනි කැඳවීම් සහ මර්දනයන් සාමාන්‍ය දෙයක් බවත්, ඒ කිසිවකින් තම දේශපාලන ගමන නැවැත්විය නොහැකි බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
















