මාර්ගගත ක්‍රමයට රථවාහන දඩ මුදල් ගෙවන ලෙස පවසමින් මෝටර් රථ හිමියන්ගේ බැංකු ගිණුම්වල මුදල් සූරාකන නව මංකොල්ලකාරී වංචාවක් පිළිබඳව ශ්‍රී ලංකා පොලිසිය දැඩි ලෙස අනතුරු අඟවා තිබේ.
රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂණ අංශය භාර නියෝජ්‍ය පොලිස්පති සේනාධීර මහතා සඳහන් කර ඇත්තේ, රථවාහන නීති උල්ලංඝනය කර ඇති බවත් වහාම මාර්ගගතව දඩ මුදල් ගෙවිය යුතු බවත් පවසමින් වංචාකරුවන් විසින් විවිධ පණිවිඩ සංසරණය කරමින් සිටින බවයි. නිශ්චිත කාලයක් තුළ ගෙවීම් නොකළහොත් දඩ මුදල වැඩි වන බවට හෝ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට තර්ජනය කරමින්, අදාළ පුද්ගලයන් වංචනික වෙබ් අඩවි වෙත යොමු කර ඔවුන්ගේ බැංකු කාඩ්පත් සහ රහස්‍ය තොරතුරු ලබාගෙන ගිණුම්වල මුදල් කොල්ලකෑම මේ වන විට සිදුවෙමින් පවතී.
රථවාහන දඩ ගෙවීම සඳහා රථවාහන පොලිසිය විසින් වෙනත් විශේෂිත වෙබ් අඩවි මෙහෙයවනු නොලබන බවත්, දඩ මුදල් ගෙවීම සඳහා ඇති එකම නිල සහ බලයලත් මාර්ගගත ක්‍රමය ‘GovPay’ වේදිකාව පමණක් බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කළේය. එබැවින්, සැක සහිත සබැඳි (Links) මත ක්ලික් කිරීමෙන් වැළකී සිටින ලෙසත්, කිසිදු අවස්ථාවක දුරකථන හරහා පුද්ගලික හෝ බැංකු තොරතුරු හෙළි නොකරන ලෙසත් පොලිසිය මහජනතාවගෙන් ඉල්ී සිටියි.














