ජාතික විගණන කාර්යාලයේ 2027 අයවැය ඇස්තමේන්තු පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී (COPF) අවධානය යොමු කර තිබේ. ස්ථාවර නියෝග ප්‍රකාරව තාවකාලික සභාපතිවරයා ලෙස පත් කර ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී මෙම කාරක සභා රැස්වීම පැවැත්විණි.
මෙම රැස්වීමේදී විගණන ක්‍රියාවලිය නවීන තාක්ෂණය භාවිතයෙන් වඩාත් කාර්යක්ෂම කිරීම සහ රාජ්‍ය ආයතනවල විගණන කටයුතු සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත. එහිදී විගණන සේවයට බඳවා ගනු ලබන දක්ෂ නිලධාරීන් පුහුණුවෙන් අනතුරුව වෙනත් අංශ වෙත යොමුවීම හේතුවෙන් මතුවී ඇති මානව සම්පත් රඳවා ගැනීමේ ගැටළුව දැඩි අවධානයට ලක් වූ අතර, දක්ෂ විගණන නිලධාරීන් සේවයේ රඳවා ගැනීම සඳහා සුදුසු දීමනා ක්‍රමවේදයක් හඳුන්වා දීමේ අවශ්‍යතාව සාකච්ඡා කෙරිණි. මීට අමතරව, විගණන ක්‍රියාවලියේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා නවීන තාක්ෂණය සහ දත්ත විශ්ලේෂණ මෙවලම් පුළුල් ලෙස භාවිත කිරීමේ අවශ්‍යතාව සහ සමෘද්ධි බැංකු විගණනයේදී පවතින ප්‍රායෝගික ගැටලු සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු විය.
මෙම කාරක සභා රැස්වීමේදී, කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත යටතේ පිහිටුවා ඇති ජාතික කාන්තා කොමිෂන් සභාවේ සභාපතිවරයාට සහ සාමාජිකයින්ට ගෙවිය යුතු මාසික වැටුප් හා දීමනා තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති යෝජනාව පිළිබඳවද සාකච්ඡා කෙරුණු අතර, පූර්ණ කාලීන සාමාජිකයින් සඳහා වන දීමනා ප්‍රමාණවත් නොවීම නිසා අමතර දීමනා ලබා දීම පිළිබඳව නැවත සලකා බලන ලෙස මුදල් අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.
















