ඇමරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් සමුද්‍රීය කොමිසමේ (FMC) සභාපති ලෝරා ඩිබෙලා (Laura DiBella) සහ කොමසාරිස් රොබර්ට් ජේ. හාවි (Robert J. Harvey) යන මහත්ම මහත්මීන් සැප්තැම්බර් 06 සිට 10 දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතය. සමුද්‍රීය වෙළඳාම, ආයෝජන සහ ඉන්දු-පැසිෆික් කලාපීය නැව් ජාලයන් සම්බන්ධයෙන් ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීම මෙම සංචාරයේ මූලික අරමුණ වේ.
මෙම සංචාරය අතරතුර සභාපතිවරයා සහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකා රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සමුද්‍රීය ක්ෂේත්‍රයේ ප්‍රධානීන් හමුවීමට නියමිතව ඇති බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය සඳහන් කරයි. එසේම, 8 වැනි කොළඹ ජාත්‍යන්තර සමුද්‍රීය සහ ලොජිස්ටික්ස් සමුළුවේදී (Colombo International Maritime and Logistics Conference) සභාපති ලෝරා ඩිබෙලා විශේෂ දේශනයක් පැවැත්වීමට නියමිත අතර, කොමසාරිස් රොබර්ට් ජේ. හාවි එහි මණ්ඩල සාකච්ඡාවකට (panel) එක්වනු ඇත.
කොළඹ වරාය හරහා ගමන් කරන කන්ටේනර් වලින් 80% කට අධික ප්‍රමාණයක් ලොව පුරා විවිධ ගමනාන්ත වෙත ළඟා වන බව පෙන්වා දී ඇති ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති එරික් මේයර් (Eric Meyer), ජාත්‍යන්තර සමුද්‍රීය වෙළඳාම තුළ ශ්‍රී ලංකාව උසුලන උපායමාර්ගික වැදගත්කම මෙහිදී විශේෂයෙන් අගය කර තිබේ.
















