ශ්‍රී ලංකාවේ අලි-දුම්රිය ගැටුම් හේතුවෙන් අඛණ්ඩව සිදුවන වනජීවී විනාශය වැළැක්වීම අරමුණු කරගනිමින්, මහජන බැංකුවේ මූල්‍ය දායකත්වයෙන් සහ රාජ්‍ය ආයතන රැසක සහභාගීත්වයෙන් වසර තුනක විශේෂ ව්‍යාපෘතියක් නිල වශයෙන් ක්‍රියාත්මක කර ඇත. පිරිසිදු ශ්‍රී ලංකා වැඩසටහන, ශ්‍රී ලංකා දුම්රිය සේවය මෙන්ම වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු ඒකාබද්ධ කරමින් ක්‍රියාත්මක වන මෙම සංස්ථාගත සමාජ වගකීම් වැඩසටහන යටතේ, අවදානමට ලක්ව ඇති ප්‍රධාන දුම්රිය ස්ථාන සඳහා අතිනූතන පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති ස්ථාපනය කිරීමට නියමිතය.
පසුගිය වසරවල වාර්තා වූ දැවැන්ත අලි ගහන අඩුවීම සහ වාර්ෂික අලි මරණ සංඛ්‍යාව ඉහළ යාම රටේ පරිසර පද්ධතියට සහ ජාතික සංරක්ෂණ ක්‍රියාවලියට එල්ල කර ඇති බරපතල තර්ජනයක් ලෙස සැලකේ. මෙම ව්‍යාපෘතිය යටතේ හබරණ සහ හතරස්කොටුව අතර කිලෝමීටර් 14 ක අතිශය සංවේදී ප්‍රදේශය මුල් කරගනිමින්, කිලෝමීටර් 89 ක සමස්ත දුම්රිය මාර්ග ආවරණය වන පරිදි ගැටුම් ඇති විය හැකි ස්ථාන 39 ක් හඳුනාගෙන ඇති අතර, එහි පළමු අදියර යටතේ ප්‍රමුඛතා ස්ථාන 13 කදී මෙම තාක්ෂණය ක්‍රියාත්මක කෙරේ.
භූමි කම්පන සහ ධ්වනි සංවේදක, FMCW රේඩාර් මෙන්ම තාප සහ කදම්භ තාක්ෂණයෙන් සමන්විත මෙම නව පද්ධතිය හරහා දුම්රිය මාර්ග අසලට පැමිණෙන අලි ඇතුන් කල්තියා හඳුනාගෙන රියදුරු මැදිරි සහ පාලන පද්ධති වෙත ක්ෂණිකව අනතුරු ඇඟවීම් ලබා දීමට හැකි වේ. තාක්ෂණය, සංරක්ෂණය සහ අන්තර්-ආයතනික සහයෝගීතාව එකිනෙකා සමඟ බද්ධ කිරීම මඟින් දුම්රිය ආරක්ෂාව තහවුරු කරමින් අන්තරායට ලක්ව සිටින වන අලි සම්පත අනාගතය වෙනුවෙන් ආරක්ෂා කර ගැනීමට මෙමඟින් ජාතික මට්ටමේ ප්‍රබල පිම්මක් පැනෙනු ඇත.














