ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 සැප්තැම්බර් 07 වන දින ටිමෝර්-ලෙස්ටේ රාජ්‍යයේ ඩිලි නුවරදී ආරම්භ විය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්රොස් අධානොම් ගෙබ්‍රියේසස්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ මෙම සැසිවාරය සඳහා 2025 වසරේ කොළඹ පැවති 78 වන සැසියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා නියෝජිත පිරිසක්ද සහභාගී වී සිටිති.
සමාරම්භක උත්සවය අමතමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කලාපීය සෞඛ්‍ය පද්ධතීන් ශක්තිමත් කිරීම සඳහා ජනතාව කේන්ද්‍ර කරගත් ප්‍රතිපත්ති සහ සාමූහික ක්‍රියාමාර්ගවල වැදගත්කම අවධාරණය කළේය. එහිදී, කලාපය මුහුණ දෙන ප්‍රධාන අභියෝග හතරක් ජයගැනීම සඳහා කලාපීය සහයෝගීතාවයේ දැඩි අවශ්‍යතාවය හෙතම පෙන්වා දුන්නේය.
පළමුව, දේශගුණික විපර්යාස හේතුවෙන් ඇති වන ගංවතුර, නායයෑම් සහ කාලගුණික ව්‍යසන (ශ්‍රී ලංකාවට බලපෑ ‘දිත්වා’ සුළි කුණාටුව සහ නේපාලයේ සිදුවීම් වැනි) හේතුවෙන් සෞඛ්‍ය පද්ධති මත දැඩි පීඩනයක් එල්ල වී ඇති බැවින්, දේශගුණික තත්වයන්ට ඔරොත්තු දෙන සෞඛ්‍ය පහසුකම් සහ පූර්ව අනතුරු ඇඟවීමේ ක්‍රමවේද සකස් කිරීම අත්‍යවශ්‍ය වේ. දෙවනුව, ඩෙංගු රෝගයෙන් ඇතිවන බලපෑම වැඩි වීම සහ නැවත නැවත ඇතිවන වසංගත තත්වයන් පාලනය සඳහා හදිසි, මනා සම්බන්ධීකරණයකින් යුත් බහු ආංශික කලාපීය ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කළ යුතුය. තෙවනුව, බැනියන් රාමුව (Banyan Framework) යටතේ රෝග නිවාරණය, සෞඛ්‍ය ප්‍රවර්ධනය සහ විවිධ අංශ එක්ව කරන ක්‍රියාකාරකම් සඳහා දැඩි අවධානයක් යොමු කරමින් සෞඛ්‍යය සහ යහපැවැත්ම පිළිබඳ පුළුල් කලාපීය කතිකාවතක් ගොඩනැගිය යුතුය. හතරවනුව, ඩිජිටල් පරිසරය සහ සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ සහ තරුණ තරුණියන්ගේ සෞඛ්‍යයට සහ යහපැවැත්මට සිදුවන බලපෑම් අවම කිරීමට ශක්තිමත් කලාපීය සහයෝගීතාවක් ගොඩනැගීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය.
ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන ‘ආරෝග්‍යා’ සුවතා මධ්‍යස්ථාන හරහා ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම සහ 2026-2035 ජාතික සෞඛ්‍ය සහ යහපැවැත්ම පිළිබඳ ප්‍රතිපත්තිය හරහා ජනතාව කේන්ද්‍ර කරගත් සෞඛ්‍ය සේවාවක් නිර්මාණය කිරීමට ගෙන ඇති පියවර ද අමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළේය.
















