මහරගම අපේක්ෂා පිළිකා රෝහලට PET ස්කෑනර් යන්ත්‍රයක් මිලදී ගැනීම සඳහා ආධාර ලබාගැනීමේදී සිදුවී ඇතැයි කියන බරපතළ මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගන්නා ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) උපදෙස් දී තිබේ. ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පත උපුටා දක්වමින් අනාවරණය වන පරිදි, අදාළ යන්ත්‍රය වෙනුවෙන් ආධාර එකතු කර ඇත්තේ ‘සුව උදාන’ ව්‍යාපෘතිය හරහා වුවද, එම මුදල් ‘සිරිලිය සවිය’ පදනම මගින් පවත්වාගෙන යනු ලබන බැංකු ගිණුමකට බැර්වී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෙම අක්‍රමිකතාව සම්බන්ධයෙන් දැඩි සැකයක් මතු වී ඇත්තේ, රුපියල් මිලියන 50ක් පමණ වටිනා PET ස්කෑනර් යන්ත්‍රයක් චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව තිබියදීත්, එවැනි යන්ත්‍රයක් මිලදී ගන්නා බව පවසමින් පුද්ගලික බැංකුවලින් සහ ආයතනවලින් පවා ආධාර මුදල් එකතු කර තිබීම හේතුවෙනි. නිල වශයෙන් පරිත්‍යාගයක් ලෙස නොමිලේ ලැබීමට නියමිත උපකරණයක් මිලදී ගැනීමට යැයි පවසමින් මෙලෙස මහජන හා ආයතනික මුදල් රැස් කිරීම ‘සාපරාධී සාවද්‍ය පරිහරණයක්’ (Criminal Misappropriation) විය හැකි බවට විමර්ශන අංශ පෙන්වා දෙයි.සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් පියවර ගනිමින් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා උපදෙස් ලබාදී ඇත්තේ, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් මහතාගෙන් ප්‍රකාශ ලබාගෙන සතියක් ඇතුළත ඊට අදාළ පූර්ණ වාර්තාවක් නීතිපතිවරයා වෙත ඉදිරිපත් කරන ලෙසයි. ‘සිරිලිය සවිය’ පදනමේ බැංකු ගිණුම් හරහා සිදුවූ මූල්‍ය සංසරණයන් සහ ඊට සම්බන්ධ ප්‍රධාන පාර්ශ්වයන් කෙරෙහි ඉදිරි විමර්ශනවලදී විශේෂ අවධානයක් යොමු කිරීමට නියමිතය
















