ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා නිල සංචාරයක් සදහා අද (08) දිනයේ මෙරටට පැමිණීමට නියමිතව තිබේ. රාජ්නාත් සිං මහතා අද සිට ලබන 10 වනදා දක්වා මෙරට නිල සංචාරයක නිරත වීමට නියමිත අතර, දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීම මෙම සංචාරයේ අරමුණ බව සඳහන් වේ.
මෙම සංචාරය තුළදී ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා, ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ආරක්ෂක අමාත්‍යංශ ලේකම් සම්පත් තුයියකොන්තා යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් හමුවීමට නියමිතය. පසුගිය වසරේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර අත්සන් කරන ලද ඉන්දු – ලංකා ආරක්ෂක සහයෝගීතා ගිවිසුම ක්‍රියාත්මක කිරීම පිළිබද මෙම සංචාරයේ දී සමාලෝචනය කරනු ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයෙකු මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත්තේ වසර 38කට පසුව වීම ද විශේෂත්වයකි.
මේ අතර ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයාගේ මෙරට සංචාරය වෙනුවෙන් කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක කර ඇති බව කොළඹ රථවාහන කොට්ඨාසය සඳහන් කරයි. ඒ අනුව මෙම සංචාරය අතරතුර රාජ්නාත් සිං මහතා ගමන් ගන්නා කාලසීමාවන් තුළ කොළඹ නගරයේ ප්‍රධාන මාර්ග කිහිපයක අවස්ථාවනූකූලව රථවාහන ගමනාගමනය සීමා කිරීමට පියවර ගෙන ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.













