දකුණු අප්‍රිකාවේ නයිජීරියානු පුරවැසියන් ඉලක්ක කර ගනිමින් අඛණ්ඩව සිදුවන ප්‍රචණ්ඩකාරී ප්‍රහාර සහ විදේශිකයන්ට එරෙහි විරෝධතා හේතුවෙන් එරටට සිදු කිරීමට නියමිතව තිබූ සියලුම නිල සංචාර අත්හිටුවීමට නයිජීරියානු පාර්ලිමේන්තුව පියවර ගෙන තිබේ.
විදේශ රටවල වෙසෙන තම පුරවැසියන්ට එරෙහි අඛණ්ඩ ප්‍රහාර නොසලකා හැරිය නොහැකි බව පෙන්වා දෙමින්, පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ ප්‍රකාශක අකින් රොටිමි සඳහන් කළේ ජාතික සමුළුව, එහි කමිටු, නීති සම්පාදකයින් සහ නිලධාරීන් විසින් දකුණු අප්‍රිකානු ජනරජයට සිදු කිරීමට නියමිත සියලුම නිල සංචාර සහ අන්තර්ජාලය ඔස්සේ සිදු කෙරෙන සාකච්ඡා පවා වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇති බවයි.
පසුගිය මාස කිහිපය පුරා දකුණු අප්‍රිකාව තුළ පැවති විදේශිකයන්ට එරෙහි විරෝධතා හේතුවෙන් දහස් සංඛ්‍යාත පිරිසකට රට හැර යාමට සිදුවී ඇති අතර, නයිජීරියානු ජාතිකයින් ඝාතනය වීම්, තුවාල ලැබීම් සහ ඔවුන්ගේ දේපළවලට සිදුවන හානි සම්බන්ධයෙන් නයිජීරියානු රජය දැඩි කණස්සල්ල පළ කර ඇත.
මෑතකදී ඇති වූ විරෝධතා සහ ප්‍රචණ්ඩකාරී ක්‍රියා හේතුවෙන් දකුණු අප්‍රිකාවෙන් ඉවත් කරන ලද හෝ ස්වේච්ඡාවෙන් පිටව ගිය සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව දහස් ගණනක් වන අතර, නයිජීරියාව චෝදනා කරන්නේ මෙම ප්රචණ්ඩත්වය මැදීමට දකුණු අප්‍රිකානු රජය ප්‍රමාණවත් පියවර ගෙන නොමැති බවයි.
තොරතුරු උපුටා ගැනීම: Al jazeera ඇසුරින්














