ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 35 ත් 45 ත් අතර පසුවන පිරිමින් සීග්‍රයෙන් ලිංගිකත්වයෙන් ඈත්වීමේ දැඩි ප්‍රවණතාවයක් පවතින බව මනෝ උපදේශිකා අනිෂා ජයකොඩි මහත්මිය MX2 Sri Lanka නාලිකාව සමඟ පැවැත්වූ සංවාදයකදී සඳහන් කර සිටියි. රට තුළ පවතින දැඩි ආර්ථික පීඩනය සහ මානසික ආතතිය ඉහළ යාම මෙලෙස පිරිමින් ලිංගික ජීවිතයෙන් ඈත්වීමට ප්‍රධාන වශයෙන් බලපා ඇති බව ඇය පෙන්වා දෙයි. ඊට අමතරව ජංගම දුරකථන භාවිතයට දැඩි ලෙස ඇබ්බැහි වීම, සහකරු හෝ සහකාරිය සතුටු කිරීමට ඇති නොහැකියාව හෝ ඒ සඳහා පවතින මානසික අකමැත්ත මෙන්ම පහසුවෙන් සතුට ළඟා කරගත හැකි මාර්ගගත ක්‍රමවේද වෙත යොමු වීමද මෙම තත්ත්වයට සෘජුවම හේතු වී තිබේ.
2024 වසරේ දත්ත වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ දිනකට විවාහ 1,000 ක් ලියාපදිංචි වන විට දික්කසාද 380 ත් 400 ත් අතර ප්‍රමාණයක් වාර්තා වන බව පෙන්වා දෙන මනෝ උපදේශිකාව, ලිංගිකත්වය සහ විවාහය පිළිබඳ පවතින නොදැනුවත්කම හා සමාජීය මිත්‍යා මතද විවාහ බිඳවැටීමට ප්‍රධාන ලෙස බලපාන බව අවධාරණය කරයි. එමෙන්ම දෙමාපියන් සහ ඥාතීන්ගේ අනවශ්‍ය බලපෑම්, මගුල් උත්සව සඳහා අධික ලෙස ණය වී පසුව මූල්‍යමය අර්බුදවලට ලක්වීම මෙන්ම අඹුසැමියන් අතර නිසි ප්‍රේමය, අවබෝධය සහ සන්නිවේදනය නොමැති වීම මෙරට පවුල් සංස්ථාවන් දෙදරා යාමට ප්‍රධාන සාධක බවට පත්ව ඇත.














