ශ්‍රී ලංකාව මේ වනවිට පුනරුද යුගයකට අවතීර්ණ වී ඇති බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.
“වයඹ අභිමන් 2026” අධ්‍යාපනික, සංස්කෘතික හා වෙළෙඳ ප්‍රදර්ශනයේ කෘෂිකර්ම දිනය වෙනුවෙන් ඊයේ (13) කුරුණෑගල ජනකලා පදනම් පරිශ්‍රයේ පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ඉතිහාසය, කලාව හා සාහිත්‍යය මෙන්ම කලාකරුවන්, නිර්මාණකරුවන්, ව්‍යවසායකයන් සහ පාසල් දරු දැරියන් ඇතුළු සමස්ත දරු පරපුරේ නිර්මාණශීලී හැකියාවන් ඉදිරියට ගෙන ඒම අරමුණු කර ගනිමින් “වයඹ අභිමන් 2026” සංවිධානය කර තිබේ.
එහිදී අදහස් දක්වමින් අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පෙන්වා දුන්නේ පෙනෙන දේ පමණක් සත්‍ය ලෙස පිළිගැනීම වෙනුවට ඒ පිළිබඳව තේරුම් ගැනීම සහ විමසා බැලීම වැදගත් බවයි.
සංස්කෘතිය යනු සොබාදහමෙන් නොලැබී මිනිසා විසින් නිර්මාණය කරගත් දේවල් බවත්, වැඩිහිටියන්ට හා ගුරුවරුන්ට ගරු කිරීම වැනි සමාජ සම්ප්‍රදායන් ද මිනිසා විසින් නිර්මාණය කරගත් දේවල් බවත් ඔහු සඳහන් කළේය.
“ඉගෙන ගන්නේ තේරුම් ගැනීමටයි. තේරුම් ගන්නේ ලෝකය වඩාත් යහපත් ලෙස සකස් කර ගැනීමටයි. ලෝකයේ තිබෙන වැදගත්ම විෂය දේශපාලනයයි. නමුත් පසුගිය කාලයේ අපේ රටේ දේශපාලනය වැදගත්ම විෂය වෙනුවට නොවැදගත්ම විෂය බවට පත්කර තිබුණා. දැන් අපි සිටින්නේ පුනරුද යුගයකයි” යනුවෙන් අමාත්‍යවරයා පැවසීය.
මෙම අවස්ථාවට වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය මහතා ඇතුළු කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, රාජ්‍ය නිලධාරීන් සහ කලාකරුවන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
















