දිවයිනේ සියලුම පළාත් පාලන ආයතන සම්බන්ධ කරගනිමින් ‘පළාත් පාලන සතිය’ අද (සැප්තැම්බර් 14) සිට එළැඹෙන 19 වැනි දින දක්වා දින 6ක් පුරා ක්‍රියාත්මක වන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා පවසයි. මීට අදාළ ජාතික වැඩසටහන කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කර ඇති අතර, එය දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
ජනතාවට සෘජුවම බලපාන ගැටලු, පරිසර හා සෞඛ්‍ය සංරක්ෂණ කටයුතු මෙන්ම සාහිත්‍ය සහ යටිතල පහසුකම් සංවර්ධනය අරමුණු කරගනිමින් මෙම සතියේ සෑම දිනකම විශේෂ තේමාවන් යටතේ වැඩසටහන් සංවිධානය කර තිබේ. ඒ අනුව, සැප්තැම්බර් 14 වන අද දින ජංගම සේවා සහ ආදායම් ප්‍රවර්ධන දිනය ලෙස නම් කර ඇති අතර, ජනතාව වෙත ගොස් ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කර දීමේ වැඩසටහන් ක්‍රියාත්මක විය. හෙට (15) දිනය මහජන උපයෝගීතා සහ යටිතල පහසුකම් දිනය ලෙස වෙන් කර ඇති අතර, ප්‍රදේශවල යටිතල පහසුකම් නඩත්තු කිරීම සහ අලුතින් එකතු කිරීම මෙහිදී සිදු කෙරේ.
එමෙන්ම, සැප්තැම්බර් 16 වන දින “හෙටට පැලයක් සහ රුක් රෝපණ” පදනමින් පරිසරය සංරක්ෂණය කිරීමේ වැඩසටහන් සහ ප්ලාස්ටික් මෙන්ම කැළි කසළ ඉවත් කිරීමේ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වේ. වැසි සමයත් සමඟ මතුවිය හැකි ඩෙංගු අවදානම පාලනය කිරීම අරමුණු කරගනිමින් සැප්තැම්බර් 17 වන දින සෞඛ්‍ය, සනීපාරක්ෂක සහ ඩෙංගු මර්දන දිනය ලෙස නම් කර ඇත. සැප්තැම්බර් 18 වන දින පාසල් දරුවන් සහ තරුණ ප්‍රජාව වෙනුවෙන් සාහිත්‍ය, අධ්‍යාපන, පුස්තකාල, සුබසාධන සහ ක්‍රීඩා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය. අවසන් දිනය වන සැප්තැම්බර් 19 වන දින විශිෂ්ඨ සේවාවක් දැක්වූ රාජ්‍ය සේවකයින්, ආයතන සහ ප්‍රජා සංවිධාන ඇගයීම හා සහනාධාර පිරිනැමීම සිදු කෙරේ.
ග්‍රාමීය හා ප්‍රාදේශීය මට්ටමින් පවතින ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දෙමින් ජනතාව සක්‍රීයව සම්බන්ධ කරගනිමින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
















