ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් අක්‍රිය කර ඇති සෞදි අරාබියේ ප්‍රධාන නැගෙනහිර-බටහිර තෙල් නල මාර්ගය දින කිහිපයක් ඇතුළත යළි ක්‍රියාත්මක කිරීමට නොහැකි වුවහොත්, ලෝකයේ සමස්ත තෙල් සැපයුමෙන් 4%ක් පමණ බලපෑමට ලක්විය හැකි බව Reuters පුවත් සේවය වාර්තා කරයි.
සෞදි අරාබිය විසින් මෙම නල මාර්ගය හරහා දිනකට තෙල් බැරල් මිලියන 4ක් පමණ රතු මුහුදේ යන්බු වරාය වෙත යොමු කරනු ලබයි. එය ලෝකයේ දෛනික තෙල් සැපයුමෙන් 4%කට ආසන්න ප්රමාණයකි.
පසුගිය සිකුරාදා එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයෙන් පසු නල මාර්ගයේ සිදුව ඇති හානිය හෝ එය කොපමණ කාලයක් අක්‍රියව පවතිනු ඇත්ද යන්න සම්බන්ධයෙන් සෞදි බලධාරීන් මෙතෙක් සම්පූර්ණ තොරතුරු අනාවරණය කර නොමැත.
Reuters වෙත අදහස් දැක්වූ කර්මාන්ත ආරංචි මාර්ග අනුව, නල මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට සති 5ත් 6ත් අතර කාලයක් ගතවිය හැකි බවට එක් මතයක් පවතින අතර, තවත් මතයකට අනුව ඊට පෙර අර්ධ වශයෙන් හෝ යළි තෙල් පොම්ප කිරීම ආරම්භ කළ හැකිය.
නල මාර්ගය අක්‍රියව පැවතීම හේතුවෙන් යන්බු වරායේ පවතින තෙල් තොගවලින් සෞදි අරාබියට සිය අපනයන පවත්වාගෙන යා හැක්කේ දින 5ත් 7ත් අතර කාලයක් පමණක් බව කර්මාන්ත ආරංචි මාර්ග සඳහන් කර තිබේ.
මෙම තත්ත්වය දැනටමත් දැඩි බලපෑමකට ලක්ව ඇති ගෝලීය තෙල් සැපයුමට තවදුරටත් පීඩනයක් එල්ල කළ හැකි අතර, ඒ හරහා ගෝලීය ඉන්ධන මිල සහ උද්ධමනය කෙරෙහිද බලපෑම් ඇතිවිය හැකි බව වාර්තා වේ.
ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියට අනුව, අගෝස්තු මාසයේදී සෞදි අරාබියේ තෙල් සැපයුම දශක තුනකට වැඩි කාලයකට පසු වාර්තා වූ අවම මට්ටමකට පහත වැටී තිබේ.
එමෙන්ම, යුද්ධය ආරම්භ වීමට පෙර මැදපෙරදිග කලාපයෙන් දිනකට තෙල් බැරල් මිලියන 22ක් පමණ සැපයුණු අතර, මේ වනවිට හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගලා යන තෙල් ප්‍රමාණය දිනකට බැරල් මිලියන 6ත් 9ත් අතර මට්ටමකට පහත වැටී ඇති බව කර්මාන්ත ආරංචි මාර්ග පවසයි.
















