වත්මන් කථානායකවරයාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ BC/0356/20/26 B 206 යන ගොනු අංකය යටතේ විමර්ශනයක් ක්‍රියාත්මක වන බැවින්, නව දූෂණ විරෝධී පනතේ ප්‍රතිපාදන අනුව ඔහුට තවදුරටත් එම ධුරයේ කටයුතු කිරීමට නීතිමය හැකියාවක් නොමැති බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. තමන්ට එරෙහිව පරීක්ෂණයක් ක්‍රියාත්මක වන පසුබිමක අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ වාර්ෂික අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ ප්‍රධානියා ලෙස කටයුතු කිරීම බරපතල ‘බැඳියාවන් පිළිබඳ ගැටුමක්’ සහ නීතිවිරෝධී තත්ත්වයක් බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
ඉදිරියේදී අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට අදාළ සංශෝධන පනතක් ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනයකින් පසු පාර්ලිමේන්තුවේදී සම්මත වුවහොත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වන වගන්තියට අනුව ඊට අවසන් අත්සන තැබීමට ද සිදුවන්නේ කථානායකවරයාට බැවින් මෙම තත්ත්වය තුළ ඔහුට තවදුරටත් සභාවේ කටයුතු කළ නොහැකි බව හෙතෙම පෙන්වා දෙයි. කථානායකවරයා වැරදිකාරයෙකු ලෙස පෙර නඩු තීන්දු කිරීමක් නොකරන නමුත්, පවතින නීතිමය බාධක සහ ව්‍යවස්ථාමය අර්බුදය හමුවේ ඔහු ස්වේච්ඡාවෙන් ඉල්ලා අස්වීම හැර වෙනත් විකල්පයක් නොමැති බව දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.














