අන්තර්ජාලය ඔස්සේ නීතිවිරෝධී ලෙස අලෙවි කිරීමට ප්‍රදර්ශනය කර තිබූ දිවියකුගේ දතක් අඩංගු පෙන්ඩන්ට් එකක්, ඇත්දළ මුද්දක් සහ ඇත්දළවලින් සකසන ලද සුරයක් සමඟ සැකකරුවෙකු මාතර, කරටියාවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. උඩවලව ජාතික උද්‍යානයේ පනහඩුව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් විසින් කරන ලද දීර්ඝකාලීන විමර්ශනයකින් අනතුරුව 2026 සැප්තැම්බර් 14 වන දින මෙම වැටලීම සිදු කර ඇත.
අන්තර්ජාලය ඔස්සේ වනජීවී කොටස් අලෙවි කරන ජාලයක් පිළිබඳව ලැබුණු තොරතුරක් මත පනහඩුව කාර්යාලීය වනජීවී නිලධාරීන් මෙම විමර්ශන ආරම්භ කර තිබූ අතර, එහිදී හඳුනාගත් මාතර කරටියාවල පිහිටි නිවසක් වැටලීම මගින් වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතින් දැඩි ලෙස ආරක්ෂිත සත්ව කොටස් සන්තකයේ තබාගත් සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. අනතුරුව සැකකරු සහ අදාළ නඩුභාණ්ඩ එදිනම (14) මාතර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, සැකකරු ලබන සැප්තැම්බර් 21 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට අනුව ආරක්ෂිත කිසිදු සත්ව කොටසක් සන්තකයේ තබාගැනීම, ප්‍රදර්ශනය කිරීම, ප්‍රවාහනය කිරීම හෝ වෙළඳාම් කිරීම දැඩි ලෙස තහනම් වන අතර, එවැනි නීතිවිරෝධී ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක කරයි. මේ ආකාරයේ නීතිවිරෝධී ක්‍රියා පිළිබඳ තොරතුරු වෙතොත්, වහාම 1992 වනජීවී හදිසි දුරකථන අංකය වෙත දැනුම් දෙන ලෙස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
උඩවලව ජාතික උද්‍යානයේ පනහඩුව අඩවි ආරක්ෂක කාර්යාලයේ ස්ථාන භාර නිලධාරී කේ.ඩී. නදීෂ මුතුකැළුම් මහතාගේ මූලිකත්වයෙන්, වනසත්ත්ව නියාමක එස්.එච්.ඩී. මදුරංග, ක්ෂේත්‍ර සහයකයන් වන එන්.වී.ආර්. බුද්ධික, කේ.ඩී.එච්. සනත්, සිවිල් ආරක්ෂක නිලධාරීන් වන කසුන් එරංග, එම්.ඩී. සඳරුවන්, කේ.ජී.එස්.එස්. දිල්හාන් සහ රියදුරු පී.එස්.එස්.කේ. පතිරණගේ යන නිලධාරීන් විසින් මෙම වැටලීම සාර්ථකව සිදු කරනු ලැබීය.














