තලෙයිමන්නාරම ආදම්ගේ පාලම සමුද්‍රීය ජාතික උද්‍යානයට අයත් ඕල්ඩ් පියර් (Old Pier) ප්‍රදේශයේ හිසට බරපතල ලෙස තුවාල ලබා අසීරුතාවට පත්ව සිටි යෝධ කොළ කැස්බෑවෙකු (Green Sea Turtle – Chelonia mydas) වනජීවී නිලධාරීන් සහ ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් එක්ව කඩිනමින් ක්‍රියාත්මක වී සාර්ථකව මුදාගෙන තිබේ.
ගැහැණු සතෙකු වන මෙම කොළ කැස්බෑවා දිගින් අඩි 6ක සහ අඟල් 2ක ප්‍රමාණයකින් යුක්ත වන අතර, පළලින් අඩි 5ක සහ අඟල් 4ක විශාලත්වයකින් යුතු වේ. බරපතල ලෙස තුවාල ලබා සිටින මෙම කැස්බෑවාට අවශ්‍ය වන විශේෂිත වෛද්‍ය හා ප්‍රතිකාර කටයුතු කිලිනොච්චිය වනජීවී පශුවෛද්‍ය නිලධාරියා විසින් සිදු කිරීමට නියමිත අතර, ප්‍රතිකාරවලින් අනතුරුව සත්වයා නැවත ආරක්ෂිතව මුහුදට මුදා හැරීම සඳහා ආදම්ගේ පාලම සමුද්‍රීය ජාතික උද්‍යානයේ වනජීවී නිලධාරීන් විසින් අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කරමින් පවතී.
















