දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රධාන ගංගා ද්‍රෝණි කිහිපයක ජල මට්ටම් මේ වන විට සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇතත්, කිසිදු ගංගාවක ජලය ගංවතුර මට්ටම දක්වා වර්ධනය වීමේ හදිසි අවදානමක් නොමැති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිල වශයෙන් තහවුරු කර තිබේ. ගත වූ පැය විසිහතර තුළ ගිං ගඟ, කළු ගඟ, මහවැලි ගඟ මෙන්ම අත්තනගලු ඔය ආශ්‍රිත ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි පතිත වී ඇති අතර, මෙම තත්ත්වය මත තෙත් කලාපයේ ප්‍රධාන ගංගාවල ජල ධාරිතාවන් ඉහළ අගයක පවතින බව වාර්තා වේ.
එහෙත්, වර්ෂාපතන තීව්‍රතාවයේ ස්වභාවය සහ කෙටිකාලීනව ලැබෙන අධික වැසි හමුවේ පහත් බිම් ප්‍රදේශ තාවකාලිකව ජලයෙන් යටවීමේ ප්‍රවණතාවක් පවතින බැවින්, ජනතාව සහ අදාළ අංශ දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බව වාරිමාර්ග බලධාරීන් පෙන්වා දෙයි. විශේෂයෙන්ම වර්ෂාව අඛණ්ඩව පැවතුනහොත් ඉදිරියේදී ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් මතු විය හැකි බැවින්, ජල මට්ටම් ඉහළ යන ප්‍රදේශවල වාසය කරන ජනතාව අවධානයෙන් පසුවීම අත්‍යවශ්‍ය කරුණකි.
මේ සම්බන්ධයෙන් අඛණ්ඩ නිරීක්ෂණ කටයුතු සිදු කරමින් පවතින අතර, කාලගුණයේ සිදුවන වෙනස්වීම් මත ඉදිරි ක්‍රියාමාර්ග සහ අනතුරු ඇඟවීම් වට්නා පරිදි නිකුත් කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත. එබැවින් වැසි සහිත කාලගුණ තත්ත්වය පහව යන තෙක් ජල මාර්ග ආශ්‍රිත ක්‍රියාකාරකම්වලදී මහජනතාව දැඩි ආරක්ෂාකාරී පිළිවෙත් අනුගමනය කරන ලෙස තරයේ ඉල්ලා සිටී.














