අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නගරයේ සිදුවූ බස් රථ අනතුරක් වාර්තා කිරීමට ගිය එන්බීසී ලොස් ඇන්ජලීස් ප්‍රවෘත්ති ආයතනයට අයත් හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. BBC පුවත් සේවය වාර්තා කරන පරිදි, ඊයේ (15) එරට වේලාවෙන් රාත්‍රී 7.00ට පමණ ලොස් ඇන්ජලීස් හි Chatsworth ප්‍රදේශයේ Lurline Avenue සහ Nordhoff Street ආසන්නයේ වාණිජ ගොඩනැගිලි දෙකක් අතරට මෙම හෙලිකොප්ටරය කඩා වැටී ඇත.
ප්‍රදේශයේ සිදුවූ මාරක බස් රථ අනතුරක් ආවරණය කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති අතර, හෙලිකොප්ටරය කඩා වැටීමෙන් අනතුරුව භාණ්ඩ ප්‍රවාහන බහාලුම් දෙකක් සහ වාහන කිහිපයක් ගිනිගෙන ඇතත්, මේ වන විට ගින්න සම්පූර්ණයෙන්ම නිවා දමා තිබේ. මෙම අනතුරට පෙර එම ප්‍රදේශයේදී SUV රථයක් නගර බස් රථයක ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් හයදෙනෙකු තුවාල ලබා තිබූ අතර, එම පුවත වාර්තා කිරීම සඳහා හෙලිකොප්ටර් කිහිපයක්ම එම ප්‍රදේශයේ ගමන් කරමින් තිබී ඇත.
මෙම ඛේදනීය සිද්ධියෙන් එක් පුද්ගලයෙකු රෝහල්ගත කර ඇති අතර ඔහුගේ තත්ත්වය මෙතෙක් තහවුරු වී නැත. කලාපීය ආරක්‍ෂාව සහ ගුවන් ගමන්වල සුරක්ෂිතභාවය පිළිබඳව බරපතල ගැටලු මතු කරමින් සිදුවූ මෙම අනතුර සම්බන්ධයෙන් වන වැඩිදුර විමර්ශන ජාතික ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලය (NTSB) විසින් මෙහෙයවීමට නියමිත බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.














