බොලිවියාවේ Yungas වලාකුළු වනාන්තර ආශ්‍රිතව ජීවත් වන Leopardus tilcayo හෙවත් ටිල්කායෝ ටයිගර් කැට් නව වල් බළල් විශේෂයක් ලෙස විද්‍යාත්මකව හඳුනාගෙන තිබෙනවා. 2026 සැප්තැම්බර් 17 වනදා Current Biology සඟරාවේ පළ වූ පර්යේෂණයට අනුව, මෙය වසර සියයකට වැඩි කාලයකින් විද්‍යාත්මකව විස්තර කළ පළමු නව ජීවමාන බළල් විශේෂයයි.
මෙම කුඩා වල් බළලා සාමාන්‍ය ගෘහාශ්‍රිත බළලෙකුට වඩා කුඩා වන අතර, දිග සෙන්ටිමීටර් 46ක් පමණ සහ බර කිලෝග්‍රෑම් 1.4ක් පමණ වන බව වාර්තා වේ. පර්යේෂකයන් විසින් Leopardus කුලයට අයත් සත්වයන් 38 දෙනෙකුගේ ජාන දත්ත විශ්ලේෂණය කිරීමෙන් එය අනෙකුත් ටයිගර් කැට් පරම්පරාවලින් වෙනස් ස්වාධීන විශේෂයක් බව තහවුරු කර ඇති අතර, එම පරම්පරාව වසර මිලියන 1.4කට පමණ පෙර වෙන්වී ඇති බව අනාවරණය වී තිබෙනවා.
විද්‍යාඥයන්ට නව විශේෂයක් වුවද, බොලිවියාවේ ප්‍රදේශවාසී ප්‍රජාවන් මෙම සත්වයා පරම්පරා ගණනාවක් තිස්සේ “Tilcayo” ලෙස හඳුනාගෙන තිබෙනවා. එහි වනයේ ගහණ ප්‍රමාණය පිළිබඳ තවමත් ප්‍රමාණවත් දත්ත නොමැති අතර, Yungas වනාන්තරය වන විනාශය සහ මානව සංවර්ධන ක්‍රියාකාරකම් හේතුවෙන් පීඩනයට ලක්ව ඇති බැවින්, විශේෂය පිළිබඳ වැඩිදුර පර්යේෂණ සහ සංරක්ෂණ කටයුතු අවශ්‍ය බව පර්යේෂකයන් පෙන්වා දෙනවා.














