සයිබර් අපරාධ චෝදනාවලට වසර 5ක සිරදඬුවමක් නියම වී තිබියදී සෞදි පාර්ශ්වය ඉදිරිපත් කළ අභියාචනයකින් පසු නව චෝදනා මත මරණ දඬුවම නියම වූ බව අනෝජන් බන්ධනාගාරයේ සිට සිය සොහොයුරාට දුරකථනයෙන් අමතා ඇති බව වාර්තාවේ.
ජූනි 30 වන දින අත්අඩංගුවට ගැනීමෙන් පසු පළමු වතාවට සිය බාල සොහොයුරු හම්සිටන් අමතමින් විනාඩි 10ක පමණ කාලයක් සංවාදයක නිරත වූ අනෝජන්, තමන් වෙත නියම කර ඇති දඬුවම පිළිබඳ කම්පන සහගත තොරතුරු හෙළිදරව් කර තිබේ.
ආරම්භයේදී සයිබර් අපරාධ චෝදනා මත ඔහුට වසර 5ක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන 3ක දඩයක් නියම වූ අතර, ශ්රී ලංකා රජය මැදිහත් වී එම දඬුවම අඩු කරගැනීමට අභියාචනා ඉදිරිපත් කර තිබුණි. කෙසේ වෙතත්, අදාළ දඬුවම ප්රමාණවත් නොවන බව පවසමින් සෞදි පාර්ශ්වය විසින්ද අභියාචනයක් ඉදිරිපත් කර ඇති අතර, එහිදී නබිතුමාට අපහාස කිරීම සහ අදාළ අන්තර්ගතයන් ප්රචාරය කිරීම යන නව චෝදනා එකතු කරමින් නඩුව නැවත ලියාපදිංචි කිරීමෙන් අනතුරුව මෙම මරණ දඬුවම් තීන්දුව ලබා දී ඇත. ලබන 7 වනදා දක්වා බන්ධනාගාරයේ සිට දුරකථනයෙන් සන්නිවේදනය කිරීමට අවස්ථාව හිමිව ඇති පසුබිමක, අනෝජන්ගේ ජීවිතය බේරාගැනීම වෙනුවෙන් වහාම නීතිමය සහ රාජ්ය තාන්ත්රික මැදිහත්වීම් තීව්ර කරන ලෙස ඔහුගේ පවුලේ අය සහ ආධාරකරුවෝ ශ්රී ලංකා රජයෙන් ඉල්ලා සිටිති.














